එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වූ කුල දරුවන් දෙදෙනෙකු එකම වෙහෙරක ශ්‍රමණ සාරුප්‍යයෙන් යුක්තව සමඟිව මහණ දම් පිරූහ. මොවුන් අතරට පැමිණි කේළම් කීමෙහි ඇලුණු වෙනත් භික්‍ෂුවක් පිළිසඳරයෙන් පසු තාවකාලිකව නවාතැන් ගත්හ. දෙවන දින එක්ව පිණ්ඩපාතයෙහි යෙදුණු තෙනම වහන්සේලා වෙත ගම්වාසීන් මහත් යටහත් පහත්ව සිටිමින් කලින් සූදානම් කර තිබූ රසවත් මිහිරි ආහාරපාන පූජා කළෝ ය. පන්සලට ආපසු වැඩිය ආගන්තුක භික්‍ෂුව මෙසේ සිතන්නට විය. මේ ගමේ මිනිස්සුද ඉතා ශ්‍රද්ධාවත් ය. පිණ්ඩපාතය ද ඉතා ප්‍රණීතය. ආවාසයන් ද සිහිල් සෙවණින් හා මිහිරි ජලයෙන් පෝෂිත ය. මෙහිම සුවසේ වසන්නට ඇත්නම් කෙතරම් වටී ද? යනුවෙනි. එසේම මේ භික්‍ෂුන් දෙනම සිටින්නේ නම් පහසු විහරණයක් මට කොයින් වේද? අතවැසිව විසීම පමණක් සිදුවිය හැක. එනිසා මේ තෙරණුවන් දෙදෙන ඔවුනොවුන් බිඳවා මෙහි නො වසන පරිදි කරන්නේ යැයි කල්පනා කළේ ය.
දිනක් මහස්ථවිරයන් වහන්සේ අනෙක් දෙනම වහන්සේලාට අවවාද අනුශාසනා කොට තමන් වහන්සේ වසන කුටියට පිවිසියහ. ටික වේලාවකට පසු මේ ආගන්තුක නවක භික්‍ෂුව මහ තෙරුන් වහන්සේගේ කුටිය වෙත එන්නේ මේ අවේලාවෙහි කුමක් සඳහා පැමිණියේ දැයි විමසන්නට විය. වැඳ අවසර ගත් මේ භික්‍ෂුව ස්වාමීනි, ඔබ වහන්සේට යමක් පැවසීමට ඇතැයි කීය. ‘ආයුෂ්මත්නි කියන්නැය’ යි ඉඩ හළහ. ස්වාමිනි, ඔබ වහන්සේගේ සහායක භික්‍ෂුව ඔබ හමුයෙහි මිතුරු වහන්සේ නමක් මෙන් පෙනී සිටියත් නැති තැන එසේ නොවේ. ස්වාමීන් වහන්සේගේ නුගුණම කියයි. කියන්න, කුමක් කීයේ දැයි විචාළහ. “මේ මහා ස්ථිවිරයෝ කපටියෙකි. කළ වරද සඟවන මායා ඇත්තෙකි. නැති ගුණ පෙන්වන මායා ඇත්තෙකි. කුහකවූවෙකි. වැරැදි දිවි පෙවෙත ඇත්තෙක් ආදී වශයෙන් නුගුණම කියන්නේ යැයි පැවසූහ.
පින්වත, එසේ නො කියන්න. ඒ භික්‍ෂුව මා පිළිබඳව කෙසේ වත් එසේ නො කියන්නේ ය. අපි දෙදෙනා ගිහි කාලයේ සිටම මිතුරෝ වෙමු. ඔහුගේ ස්වභාවය මම දනිමි. එසේම මහණ කමින් පසු ද ඔහු සුපේශලය. සංවර වූ සිල් ඇත්තේ යැයි කියන්නට විය. ස්වාමිනී, ඔබ වහන්සේ පිරිසුදු වූ යහපත් සිත් ඇති බැවින් මෙසේ සිතන්නේ ය. ඒ තෙරුන් සමඟ මගේ ද අහිතක් නැත. කුමක් නිසා ඔවුන් විසින් නො කියන ලද්දක් මම ඔබ වහන්සේට කියන්නට එම් ද? එය එසේම වේවා! කල්යාමෙන් හෝ ඔබ වහන්සේටම එය දැනගත හැකි යැයි පවසමින් වැඳ ඉවත්ව ගියේ ය.
සසුනෙහි අධිගමයක් නොලැබූ ඒ දෙනම වහන්සේලා ද කේළාම්කාරී භික්‍ෂුව ඉවත්ව ගිය පසු මහා ස්ථිවිරයන් වහන්සේ මෙසේ සිතන්නට වුහ. මේ භික්‍ෂුව මා වෙත කීවක් සැබෑ විය හැකි දැයි වශයෙන් විශ්වාසය මදක් ලිහිල්ව ගියේ ය. ඒ භික්‍ෂුව පළමුව මෙසේ මහ තෙරුන් බිඳුවා අනතුරුව අනෙක් භික්‍ෂුව ද එලෙසම බිඳවා ලීය. ඉක්බිති මේ තෙරුන් වහන්සේ දෙනම පසු දින එකිනෙකා කතා නැත්තේ පා සිවුරු ගෙන පිඬු සිඟා වැඩ තමන්ගේම කුටිවල සිට පිණ්ඩාහාර වළදා දෙවන දින පහන් වීමෙත් සමඟම ඔවුනොවුන් නොදන්වාම වෙනත් පහසු විහරණ සොයා ආරාමයෙන් පිටත්ව ගියෝ ය.
කේළාම් බස් කියූ භික්‍ෂුව පසු දින අවදිව බලන්නේ තමන්ගේ අභිමතාර්ථය ඉටු වූ බව දැන සතුටින්ම ගමට පිඬු පිණිස වැඩියහ.
ගමේ මිනිස්සු තනිව වඩින ඔහු දැක අනෙක් දෙනම වහන්සේලා ගැන විමසූහ. පින්වත්නි, පෙර දින රාත්‍රියෙහි ඔවුහු දබර ඇත්තෝ වූහ. ස්වාමිනි, දබර නො කරන්න. සමඟි වන්න. දබරය විනාශකාරීය. මතු භවයෙහි පවා විපාක දෙන්නක් ය. දුක් උපදවන්නේ ය. පෙර දබර කළෝ ද විනාශයට පත්වූහ යැයි ආදී වශයෙන් ම විසින් අවවාද කළේ මුත් එයද නො අසා පන්සලෙන් පිටත්ව කොහේ ගියාදැයි නො දනිමි’ යි කේළම් කියා බිඳ වූ භික්‍ෂුව කීහ. ඒ ඇසූ උපාසක ගම් ඇත්තෝ කියන්නෝ ඒ එසේ වෙත්වා, දබරකාරී භික්‍ෂූන් කැමැති තැනකට ගියේවා! ඔබ වහන්සේ අපට අනුකම්පා පිණිස මෙහි වැඩ වසත්වා! ආවාසය හැර නො යන්නයයි අයැද සිටියහ. හෙතෙම උපාසකයන්ගේ බස් පිළිගෙන ආවාසයෙහි වැඩ සිටින්නේ නොබෝ දිනකින්ම මෙසේ සිත් වීය. සිල්වත් වූ යහපත් පැවතුම් ඇති ඒ භික්‍ෂූන් දෙනම වහන්සේ ආවාසයත් පිණ්ඩපාතයත් පිළිබඳ ලෝභයෙන් ම විසින් කේළාම් බස් කියා බිඳවාපු ලූහ. ම විසින් කරන ලද්දේ ලාමක (පහත්) පාප කර්මයකි. මෙසේ සිත තුළ නිතර ඇති වූ මහත් විපිළිසර භාවය නිසා ශෝක ඇත්තෝ ගිලන් වූයේ කෙටි කාලයකින්ම කලුරිය කොට අවිචිමහ නරකයෙහි උපන්නේ ය. (මෙහි උපන් සත්ත්වයෝ බුර බුරා නගින ගිනිදැල්වලින් තද දුකින් අතරක් නැතිව පැසෙන්නේ ය. දිගින් පළලින්, උසින් සියක් සියක් යොදුන් පමණ වෙති. එහි එක් බිත්තියෙක් නව යොදුන් පමණ ඝනය. පොළොව සහ පියන ද එපමණ ඝනය. පිහිටීම් වශයෙන් සතරැස් ය. ගිනි දල්වන්නෝ ද මෙහි උපන් නිරි සතුන්මය. මිනිසුන්ගේ ආයු කාලය, දවසින් පටන් ගෙන පිළිවෙළින් නැගී ගොස්, අසංඛෙය්‍ය පැමිණ නැවත අසංඛ්‍යෙයෙහි සිට, පිරිහෙමින් අවුත් දස වසකට වැටේ. මේ දෙඅතර කාලය අන්තඞකල්පයකි.
අවීචිමහ නරකයෙහි ආයු කාලය මෙවන් එක් අන්තඞකල්පයෙකි. මවුපියන් රහතන් වහන්සේ ගේ දිවි තොරකරන්නෝ, බුදුන්වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් ලේ සොලවූවෝ’ කේළාම් කියා සංඝ භේද කරන්නෝ, ආරාම, දාගැබ්, මහබෝ, පෙතිපිළිම ඈ නසන්නෝ මිථ්‍යාදෘෂ්ටි ගත්තෝ මේ අවීචිමහ නරකයෙහි උපදිති. දෙව්දත් තෙරුන් ද පාපකාරයකු වී දැන් තැවෙන්නේ මෙහි ය.)
අනෙක් තෙරුන් වහන්සේ දෙනම ජනපදයන් හි සැරිසරා යන්නේ එක් ආරාමයකදී කලෙකට පසු හමු වූහ. ඔවුනොවුන් සතුටු කතා ඇත්තේ ඒ කේළාම් කී භේදකාරී භික්‍ෂුව විසින් කීවා යැයි සඳහන් වූ අන්‍යොන්‍ය බස් පිළිබඳව ද විමසීම් කළහ. ඒවා හිස් බොරු බව දැනගෙන සමඟිව නැවැත පළමු ආරාමයටම වැඩම වූහ. උපාසකයෝ ඒ තෙරුන් වහන්සේ නැවැත චච්;මන් මහත් සතුටට පත්වූයේ සිව්පසයෙන් උපස්ථාන කළහ. තෙරුන් වහන්සේ ද පහසුවෙන් සිව්පසය ලැබීම නිසා සිත් එකඟ කොට ගෙන (මහත් සේ උපකාරයක් සේ සලකා) විදසුන් වඩා නොපමාව රහතන් වහන්සේ අතර තවත් රහතන් වහන්සේ දෙනමක් බවට පත්ව දක්‍ෂිණාවට ද සුදුස්සෝ වූහ. කේළාම් කී භික්‍ෂුව එක් බුද්ධාන්තරයක්ම අවිචිමහ නිරයෙහි පැසී අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි රජගහ නුවරට නුදුරින් මෙසේ ප්‍රේතයෙක්ව පණුවන් කන කුණු වූ ගඳින් යුත් කටක් ඇතිව උපන්හ. එහෙත් භික්‍ෂුත්වයෙන් බඹසර රැක්ක නිසා රන්වන් සිරුරක් ඇති විය.
No comments