මේ දුර්ලභ ජීවිතේ පිනක් කරන්නට නුවණැත්තෝ ප්‍රමාද නොවෙති. ගෙවුණු ජීවිතේ “පිනක් කරන්න ඕනෑ” යන සිතුවිල්ල මොහොතකට හෝ ඇති නොවුණා නොවේ. නමුත් ප්‍රමාදය නිසා වෙන වෙන අවශ්‍යතා ඉස්මතු වීමෙන් පින මගහැරී ගියේ නැති ද? බණ අහන්නට හිතුණි. සිල් රකින්න නොහිතුණා නොවේ. එහෙත්, කම්මැලිකම ඉස්සර විය. ශ්‍රද්ධාව යට ගියේ ය. පින පස්සට කල් දැමිණ. දන් දෙන අයත් සමඟ දන් පොළට ගිය ද දන් පොළේ දී අඩුපාඩු ම පෙණින. නැත්නම්, ‘ඔච්චර දන් දෙන්න ඕනෙ ද? ටිකක් දුන්නම මදෑ.’ කියා හිතුණි. ඒ හැම සිතුවිල්ලක් ම අපව ආපස්සට ඇදගෙන ගියේ ය.
චූල ඒකසාටක බමුණාගේ කතාව අප අසා තිබේ. මේ දුප්පත් බමුණා තමනුත්, බිරිඳත් සන්තකව තිබුණ එකම එක සළුව පොරවාගෙන බණ අහන්නට ගියේ ය. රාත්‍රී පළමු යාමයේ මොහුගේ සිත ශ්‍රද්ධාවෙන් ඉපිලිණ. බුදුරජාණන් වහන්සේට සළුව පූජා කරන්නට බලවත් ආසාවක් උපන. ‘ඒත් මේ සළුව නැතිව අපි කොහොමද ආය බණ අහන්න එන්නේ?’ යන සිතුවිල්ලෙන් අර පින යට විය. මධ්‍යම යාමයේ ද පූජා කරන්න හිතිණ. ‘එක්කො බෑ’ කියා නැවත හිතිණ. නමුත්, අන්තිම මොහොතේ සළුව පූජා කර ගත්තේ ය. තමන් ලෝභ සිත දිනූ බව මහා හඬින් කියා සිටියේ ය. මේ පින දුටු රජතුමා සතුටට පත්ව බමුණාට ඇතුන් හතර දෙනෙක්, අශ්වයෝ හතර දෙනෙක්, කහවණු දාහක්, උපාසකයෝ හතර දෙනෙක්, දාසියො හතර දෙනෙක්, පුරුෂයෝ හතර දෙනෙක්, ගම්වර හතරක් ආදී වශයෙන් තෑගි කළේ ය.
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, ඔය බමුණාට ලැබුණු තෑග්ගේ වෙනසක් තියෙනවා. පළමු යාමයේ ම ඔහු සළුව පූජා කළා නම් ඔහුට ලැබෙන්නේ හැම එකකින් ම දහසය බැගින්, මධ්‍යම යාමේ සළුව පිදුවා නම් එකකින් අට බැගින් ලැබෙන්න තිබුණා. ඔහු අවසන් මොහොතේ සළුව පූජා කළ නිසයි හතර බැගින් තෑගි ලැබුණේ.” එසේ නම් පින් සිත උපන් මොහොතේම අප්‍රමාදව පින කරගත යුතු ය. සසරේ අපෙන් වූ ප්‍රමාදය හේතුවෙන් මේ ජීවිතේ කොපමණ නම් විඳවනවා ඇද්ද? දරු මුණුපුරන්ගේ කටයුතු කිය කියා සිල් රකින්න වයසට යනකම් ම බැරි විය. පැවිදි වෙන්න ආසා උපදිද්දී අපි හොඳටම වයසට ගොස් ය. ඇස් පේන්නේ නැත. කන් ඇහෙන්නේ නැත. දහසක් ප්‍රශ්න ය.
No comments