යම් සත්වයෙක් මෙලොව උපත ලැබූ විට ඔහුගේ පුණ්‍ය ශක්තිය විපාක දීමට බාධා කරන අවස්ථා හතරකි.

Share:


ගති විපත්තිය’ යනු අපාය භවය ය. තිරශ්චීන භවාදි අපායට අයත් භවයක උපන්නහුට ඒ අවස්ථාව අකුශල කර්මවලට විපාක දීමට හොඳ අවස්ථාව ය. එබැවින් අපායක උපන් සත්ත්වයාට ඒ අවස්ථාවෙහි දී දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ. ඔහුට බොහෝ කුශල් ඇතත් ඒ කාලයේ ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ බලවත් වූ කුශලයකින් ද ඉතා අල්ප විපාකයෙකි.


‘උපධි විපත්තිය’ යනු ශරීරය යහපත් නො වීම ය. විරූප බව, අත්පා සුන් බව, කොර බව, අන්ධ බව, ගොළු බව, බිහිරි බව, පරංගි ලාදුරු ආදි දීර්ඝ කාලයක් පවත්නා රෝගයකින් පෙළෙන බව යනාදිය ය. බලවත් කුශල කර්ම ඇත ද උපධිවිපත්තියෙහි සිටියහුට උපධි විපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. රජ වීමට සුදුසු පින් ඇතිව රාජකුලයෙහි ඉපද සිටියත් සමහර විට උපධිවිපත්තිය නිසා රජකම නො ලැබී යන්නේ ය. උපධිවිපත්තියේ සිටියහුට දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ.


‘කාල විපත්තිය’ යනු නරක කාලය ය. හොඳ පාලකයන් නැති කාල, යුද්ධ පවත්නා කාල, නරක මිනිසුන් අධික අපරාධ බහුල කාල, දුර්භික්ෂ කාලාදිය නරක කාලයෝ ය. නරක කාලවල ජීවත්වන්නහුට ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් ලැබීමට නිසි පින් ඇත්තේ ද කාලවිපත්තිය නිසා ඒවා නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ අල්ප වශයෙනි. අතිප්‍ර‍ණීත භෝජනයක් ලැබීමට නිසි පිනෙන් සමහර විට විපත්ති කාලයේ දී ලැබෙන්නේ අල ටිකක් පලා ටිකක් වැනි අමනෝඥ භෝජනයෙකි. හොඳ කාලයේ දී විපාක දීමට තරම් ශක්තියක් නැති දුබල අකුශල කර්මයෝ ද කාල විපත්තියේ දී විපාක දෙන්නාහ.


ප්‍රයෝග විපත්තිය යනු සූදුව මද්‍යපානය සොරකම කාමමිථ්‍යාචාරය යනාදි පව්කම්වල යෙදීම ය. ශරීරය හා ජීවිතය පරෙස්සම් නො කිරීමත් ප්‍රයෝග විපත්තිය ය. ප්‍රයෝග විපත්තියෙහි සිටියහුට අතීත කුශල බලයෙන් ලැබිය හැකිව තිබෙන උසස් තනතුරු ගරුබුහුමන් ආදිය නොයෙක් විට නො ලැබී යන්නේ ය. ධනවත් වීමට සුදුසු පින් ඇත්තේ ද දිළිඳු වන්නේ ය. දීර්ඝායුෂ්ක වීමට පින් ඇත්තේ ද, අල්පායුෂ්ක වන්නේ ය. ප්‍රයෝග විපත්තියෙහි සිටි තැනැත්තා දුර්වල වූ ද අතීත අකුශල කර්මවලින් දිළිඳු බවටත් රෝගී බවටත් මරණයටත් පමුණුවනු ලබන්නේ ය. තත්ත්වයෙන් පිරිහෙළනු ලබන්නේ ය.

 

No comments