ඉතා අවලස්සන වූ, කුදු ගැහුණු එක්තරා යක්ෂයෙක් සක් දෙවිඳුගේ ආසනයේ වාඩි වුණා. තව්තිසාවැසි දෙවිවරු ඔහුට නින්දා කරන්නට වුණා.
‘‘මේ අවලස්සන කුදු ගැහිච්ච යකෙක් සක් දෙවිඳුගේ ආසනයේ වාඩි වෙලා ඉන්නවා නෙව…”
තව්තිසාවැසි දෙවිවරු එ් යක්ෂයාට දොස් පවරද්දි, නින්දා කරද්දි, අවමන් කරද්දි එ් යක්ෂයා එන්න එන්න ම ලස්සන වුණා. වඩාත් පැහැපත් වුණා. මේ සිදුවීම සක් දෙවිඳුන්ට සැල කෙරුණා. සක් දෙවිඳු එ් ක්‍රෝධය අනුභව කරන යක්ෂයා ළඟට ගියා. උතුරු සළුව එ්කාංශ කොට පොරවගෙන, දකුණු දණ මඬල බිම තබාගෙන, එ් යක්ෂයාට වැඳගෙන තුන්වරක් මෙහෙම කිව්වා.
‘‘නිදුකාණෙනි, මම ශක‍්‍ර දේවේන්ද්‍රයා වෙමි…”
සක් දෙවිඳුන් එසේ නම කියද්දී යක්ෂයා එන්න එන්න ම දුර්වර්ණ වෙලා, කුදු ගැහිලා එතැන ම නො පෙනී ගියා. සක් දෙවිඳු අසුනේ වාඩි වෙලා මේ ගාථාවන් කිව්වා.
‘‘මම් ගැටුනු සිත් ඇති කෙනෙක් නො වේ. මාව ලේසියෙන් කෝප ගන්වන්න බෑ. මම් බොහෝ කලක් තිස්සෙ කේන්ති ගන්නෙ නැතිව ඉන්න කෙනෙක්. එ් නිසා මං තුළ ක්‍රෝධය පිහිටන්නේ නෑ.
මට කේන්ති ගියත් දරුණු වචන කියන්නේ නෑ. ධාර්මික වචන විතරයි මං කියන්නේ. තමන්ට එයින් වන යහපත දැකලා, මං තමන්ට ම යි නිග‍්‍රහ කර ගන්නේ.”
(දුබ්බණ්ණිය සූත‍්‍රය – සං. නි.)
ක්‍රෝධය විසින් යට නො කරන සිතක් ඇතිව අවිහිංසාවෙන් වාසය කරන සක් දෙවිඳුන් සැබැවින් ම සිල්වතෙක්…!
No comments