සප්ත ආර්ය ධනය

Share:

සද්ධාව -

මෙය බෞද්ධ ජීවිතයේ පදනමයි. පුහුදුන් අප සිත් තුළ පවත්නේ ලෞකික සද්ධාවයි. සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමන් තුළ පවත්නේ ලෝකෝත්තර සද්ධාවයි. ලෞකික වූ අපේ සද්ධාව ‘ඵල’ සද්ධාව ලෙසත් දැක්වේ. ඵල යනු සෙලවීමයි. එනම් අප පුහුදුන් පුද්ගලයන් ගේ සද්ධාව විටෙක ඉතා ඉහළ මට්ටමක ද විටෙක මධ්‍යස්ථව ද, විටෙක ඉතා අඩුවෙන් ද පිහිටා තිබීමට අවකාශය තිබීම යි. එහෙත් ලෝකෝත්තර සද්ධාව අචල සද්ධාවකි. එය කිසිදාක නොසෙල් වී පවතියි. තෙරුවන් කෙරෙහි සිතෙහි ඇති කරගනු ලබන පැහැදීම ශ්‍රද්ධාව ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකියි.


සීලය -

කය වචනය දෙක සංවර කර ගැනීම සීලය ලෙස හඳුන්වා දිය හැකියි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය යි. විශේෂ අවස්ථාවන් හිදී සමාදන් වන ඊට ඉහළ අධි සීලයන් පවතියි. පංච සීලයට වඩා අෂ්ටාංග සීලය ද ඊටත් වඩා දස සීලයද ක්‍රමයෙන් අධිසීල බවට පත්වේ. මෙම ක්‍රමයෙන් බැලූ කළ මේ සියල්ලටම වඩා අධිසීල බවට පත්වන්නේ භික්ෂු උපසම්පදා සීලය යි. එනම් චතුපාරිසුද්ධ සීලය යි. එහෙත් සප්ත ආර්ය ධනයෙහි දක්වා ඇත්තේ පංචසීලය ආදී ගිහි සැදැහවතුන් අනුගමනය කළ යුතු සීල ප්‍රතිපදාවන් පිළිබඳවයි.


හිරි -

හිරි යනු ලජ්ජාවයි. මෙය දේව ධර්මයක් ලෙසද දැක්වෙයි. ලජ්ජාව යනුවෙන් මෙහි අදහස් කොට ඇත්තේ පවට ලජ්ජාවීම යි.


ඔත්තප්ප-

දේව ධර්මයක් වන මෙමගින් අදහස් කොට ඇත්තේ භය යි. එනම් පවට බිය වීමයි. එයට කරුණු සතරක් ද පදනම් කරගත හැකිය.


1. අත්තානුවාද භය - අකුසල් කළහොත් තම සිත තමාටම දොස් නගන්නේ ය. යන බියෙන් තුරන් වීම.

2. පරානුවාද භය - අන්‍යයන්ගෙන් තමාට චෝදනා ලැබෙන්නේ ය. යන බියෙන් ඉන් තුරන්වීම.

3. දණ්ඩ භය - දඬුවමට බියෙන් ඉන් තුරන්වීම

4. දුග්ගති භය - දුගතියට බියෙන් ඉන් තුරන්වීම


සුත -

‘ශ්‍රැතිය ශ්‍රවණය කිරීමයි’ සුස්සුතා ලභතෙ පඤ්ඤං’’ යන පාඨයට අනුව ප්‍රඥාව දියුණු වන්නේ වැඩිපුර දේ ශ්‍රවණය කළ විටයි. පුරාතන අපගේ අධ්‍යාපන මාධ්‍යය වූයේ ද ශ්‍රැතිය යි. එමගින් බිහිවූවෝ බහුශ්‍රැතයෝ නම් වූහ.


චාග -

තමා සන්තකව තිබෙන දෙයක් පරිත්‍යාග චේතනාවෙන් යුක්තව අන්‍යයන්ට දීමේ දී සිතේ ඇතිවන්නේ චාග චේතනාවයි. දන්දීම යනු එය යි.


ප්‍රඥාව -

මෙමගින් අදහස් කරනුයේ විදර්ශනා ඤාණය දියුණු කරවා ගැනීමේ ක්‍රියා මාර්ගය යි. සසර දුක් ක්‍ෂය කිරීමෙන් නිවන් ලැබිය හැකිවන්නේ විදර්ශනා ඤාණය කෙමෙන් කෙමෙන් ප්‍රගුණ කර ගැනීමෙනි. එබැවින් නුවණ දියුණු කරවීම ද සප්ත ආර්ය ධනයෙහ් එක් කොටසකි. මෙසේ මෙම සප්ත ආර්ය ධනයෙහි යුක්ත වූ යමෙක් වෙත්නම් එම ජීවිත කිසිදා හිස් ජීවිත නොවෙයි. ලෝකෝත්තර වශයෙන් ඔවුහු දිළින්දෝ ද නොවෙති. එබැවින් මෙම සප්තාර්ය ධනය එදිනෙදා ජීවිතයට එක්කරගෙන මෙලොව - පරලොව උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම උත්සුක විය යුත්තාහුය.

 

No comments