සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.මහාජනයා එක් වී තථාගතයන් වහන්සේ පුදා, මනා සෑයක් කොට සර්‍වඥදෙහය එයට නැගූහ.එහි ශරීරය පිළිබඳ ආදාහනකෘත්‍යය කොට ධාතු ගෙණාවාහු ය. ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ එ ම ධාතු නිදන් කොට බුද්ධස්තූපයක් කළාහු ය.
එ ම ස්තූපයෙහි පළමු නිම්වළල්ල රන්මුවා ය. දෙවැන්න මිණිමුවා ය. තෙවැන්න රිදීමුවා ය. සිව්වැන්න පළිඟුමුවා ය. පස්වැනි නිම්වළල්ල පියුම්රාමිණිමුවා ය. සවැන්න මැසිරි ගල්මුවා ය. මේ සියල්ලට ඉහලම කොටස සර්‍වරත්නමය ය.යට කොටස මිණිමුවා ය. වෙදිකාව රුවන්මුවා ය. මෙසේ සෑය සර්‍වස්වර්‍ණමය ය. යොදුනක් උසට පැන නැංගේ ය.
▪️එකල්හි එහි දෙවියෝ එක් රැස් ව මෙසේ සාකච්චා කළාහු ය.
“තාදීගුණ ඇති ලොකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරමු.ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධාතු වෙන් වෙන් ව නැත. මුළු සිරුර ම එකට කැටි ව තිබේ. එබැවින් අපි මේ සෑයෙහි ම කංචුකයක් කරන්නෙමු ය”
දෙවියෝ එ ම සෑය සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහු ය. ඉක්බිති එ ම සෑය දෙයොදුනක් උස ය. එහි ආලොකයෙන් ,අඳුර ද දුරු කෙරෙයි.
▪️එකල්හි නාගයෝ ද එහි එක් රැස්ව සාකච්චා කර,ඉඳුනිල් ද මහනිල් ද යලි ජොතිරස නම් මැණික් ද එක් රැස් කොට බුදුරජානන් වහන්සේගේ සෑය වැසූහ. සියල්ල මිණියෙන් කරණලද එළිය කරන්නා වූ තුන් යොදුන් උස බුද්ධස්තූපයක් වී ය.
▪️එකල්හි ගුරුළෝ ද එක් රැස්ව සාකච්චා කර, ස්තූපයෙහි සර්‍වමණිමය පිට සැට්ටයක් (=වැස්මක්) කළාහු ය. ඔහු ද බුද්ධස්තූපයෙහි උස යොදුනකින් වැඩි කළාහු ය.
සිවුයොදුන් උස (මෙම) බුද්ධස්තූපය බබළයි. උඩට නැගුනු සූර්‍ය්‍යයා මෙන් සියලු දිශාවන් ආලොක කෙරෙයි.
▪️එකල්හි කුම්භාණ්ඩයෝ ද (දිව්‍යවිශෙෂයෙකි). එහි එක් රැස්ව සාකච්චා කර, උස් වූ බුද්ධස්තූපය අපි දු රත්නයන්ගෙන් වසන්නෙමුයි කියා එබදු පූජාවක් කලහ.
ඔහු ද බුද්ධස්තූපය යලි යොදුනක් (උස) වැඩි කළාහු ය. එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.
▪️එකල්හි යක්‍ෂයෝ ද එහි එක් රැස්ව සකාච්චා කර, උස් වූ බුද්ධස්තූපය පළිඟුයෙන් වසමින් පූජා කලහ.
ඔහු ද උස් වූ බුද්ධස්තූපය යොදුනක් වැඩි කළාහු ය. එකල්හි (එම) සෑය සයොදුනක් උස් වේ.
▪️එකල්හි ගන්‍ධර්‍වයෝ ද එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය.
ඔවුහු (එහි) වෙදිකා සතක් කොට ඡත්‍රයක් ද නැගූහ. එකල්හි ගන්‍ධර්‍වයෝ සෑය සර්‍වස්වර්‍ණමය කරවූහ.
එකල්හි සත්යොදුන් උස සෑය බබළයි. රෑදාවල්හු නො දැනෙත්. හැමකල්හි ආලෝකය වේ.
තාරකා සහිත වූ චන්ද්‍රසූර්‍ය්‍යයෝ එ ම චෛත්‍යයාගේ ප්‍රභාව නො මඩිත්. හාත්පස යොදුන් සියයක් තන්හි පහනකුදු නො දැල්වුනේ ය.
එකල්හී යමෙක් සෑයට යම් කිසිවක් පූජා කරන්නට ගිය කල්හී එය පූජා කිරීමට සෑයට නොනගී.,ඔහු එය අහසෙහි උඩ දමයි.එකෙනෙහිම ඒ පූජා ද්‍රව්‍ය අහසේ පාවී ගොස් සෑ මුදුනටම යයි.
(දෙවියන් විසින් තබන ලද අභිසම්මත නම් යක්‍ෂෙයෙක් සිටී. හෙතෙම උඩට දැමූ ධජයක් වුවත් මල්දමක් වුවත් සෑ මුදුනෙහි නගා තබයි.මිනිසුන් එම යක්‍ෂයා නො දකිත්. එය ගෙණයන මල්දම පමණක් දකිත්. මෙසේ දැක, යන සියල්ලෝ සුගතියට යෙත්.)
එකල අබෞද්ධ ,සද්දා නැති ජනයාද..සද්දාව ඇති ජනයාද ආදී බොහෝ මනුෂ්‍යයෝ, ප්‍රාතිහාර්‍ය්‍යය දකිනු කැමැත්තෙන් ස්තූපයට මල් මාලා ආදිය පූජා කරයි.
එකල්හි මම හංසවතීනගරයෙහි මෙහෙකරුවෙක් වීමි. එකල්හි සතුටු වූ ජනයා දැක මම මෙසේ සිතීමි:
“යම් කෙනෙකුන්ගේ දාගෙය මෙබඳු ගරු සත්කාර ලබයි නම්, එම ධාතු අයත් තෙමේ(ඒ භාග්‍යවත් තෙමේ ) උදාර කෙනෙකි. මේ ජනසමූහයා ද සතුටු වී බොහෝ වූ සත්කාර කෙරෙති.
මම ද තාදිගුණ ඇති පදුමුත්තර ලොකනාථයන් වහන්සේගේ චෛත්‍යයට සත්කාරයක් කරන්නෙමි. අනාගතයෙහි උන්වහන්සේගේ ධර්‍මයෙහි කොටස් හිමියෙක් වන්නෙමි”.
“මැනවින් සෝදා පිරිසිදු කරණලද මාගේ උතුරු සළුව උණදඬුවක අග එල්වා ධජයක් කොට අහසෙහි උඩට ඔසොවා තැබීමි.”
“අභිසම්මත යක්‍ෂ තෙමේ මාගේ ධජය ගෙණ අහසෙහි එල්වා තැබී ය. වාතයෙන් සෙලවෙන්නා වූ ධජය දැක මම බොහෝ සතුට ඉපදවීමි.”
“එහි සිත පහදවා ශ්‍රමණයෙකු වෙතින් වැඳ ධජ දානයෙහි විපාක විමසීමි.”
හෙතෙමේ මාගේ මහත් ප්‍රීතිය ඇති කරණ වස් එහි අනුසස් මට මෙසේ කී ය.
“හැම කල්හි එම ධජයාගේ විපාකය අනුභව කරන්නෙහි ය.
ඇත් අස් රිය පාබළ යන සිවුරඟසේනාවෝ නිරතුරු ව ම ඔබ පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනැවින් අලඞ්කාර කරණලද භෙරීහු ද ඔබ නිරතුරු ව ම (වැයීමෙන්) පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
සැරසුනු අසූදහසක් (පමණ) ස්ත්‍රීහු විසිතුරු අබරණ ඇත්තාහු පැලඳි මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වුවාහි ඉතා මොළොක් ශරීරාවයව ඇත්තාහු සිහින් කටිප්‍රදෙශ ඇත්තාහු නිරතුරු ව ම ඔබ පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහි ය. ශක්‍රදෙවෙන්ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය.
දහස්වරක් සක්විතිරජ වන්නෙහි ය. මහත් වූ ප්‍රදෙශරාජ්‍යය ලබන වාර ගණන මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
“මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නාවූ ගොත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව පුණ්‍ය කර්‍මය හා එක් වූයේ බ්‍රාහ්මණයෙක් වන්නෙහි ය. ”
“අසූකෙළක් ධනය ද බොහෝ දස්කම්කරුවන් ද හැර දමා ගෞතමබුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහි ය. ”
“ශාක්‍යකුලශ්‍රෙෂ්ඨ වූ ගෞතම බුදුරජානන් වහන්සේ සතුටු කොට නමින් උපවාන ය යි බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය” යි වදාළ සේක.
“කල්පලක්‍ෂයකට පෙර මා විසින් කරණලද කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. (දුනුදියෙන්) මැනවින් මිදීගිය හීයක වෙගය මෙන් මාගේ කෙලෙස් දැවී ය.”
මෙයින් කල්ප ලක්‍ෂයකින් පෙර වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො දනිමි. ධජ දානයාගේ මේ විපාකය යි.
උපවාන ථේරාපදානය
උපුටා ගැනීමකි !
No comments