බරණැස් නුවර, මහ වනයක අතු ඉතිලා වැඩුණු විසල් ගසෙක් විය. එහි අතු පතර කුරුලු රෑනකගේ වාසස්ථානය බවට පත් විය. එදා සුළං ඇති දිනයකි. රූස්ස ගසේ අතු දෙකක් එකට මැදෙන්නට විය. කුරුලු රෑනෙහි සිටි බෝසත් කුරුල්ලා මෙය දුටුවේ ය. තව දිනක් හෝ මේ ගසෙහි විසීම නුවණට හුරු නොවන බවත්, සියලු කුරුල්ලන් වෙනත් තැනකට පියඹා යා යුතු බවටත් බෝසත් කුරුල්ලා අවවාද කළේ ය. නුවණැති කුරුල්ලෝ ඒ අසා ඈත ගසකට ඉගිළ ගියහ.
එහෙත් උඩඟු ගති ඇති පිරිසක් ද එහි විය. ඒ අඥාන කුරුල්ලෝ බෝසත් කුරුල්ලාගේ කීම පිළීනොගත්හ.
‘වතුර බිඳුවක කිඹුලන් දැක බියේ දඟලනවා යැයි අවඥාවෙන් බැහැර කළහ. උපහාසයෙන් සිනාසුනහ. වැඩි කාලයක් ගියේ නැත. ඒ විසල් ගස ගිනිගෙන දැවුණි. ගිනි රස්නය ද, නැඟී ආ දුම ද නිසා කුරුල්ලන්ට පියඹා යා නොහැකි විය. ඔවුහු ගින්නටම වැටී පිළිස්සී මිය ගිය හ.
අවවාද පිළිගන්නා තැනට මිනිස් දරුවා හුරු කළ යුතු කුඩා කල දීම ය. වයසින් වැඩෙත්ම කොපමණ ඔවදන් ලැබුණ ද ඔවුහු ඒවා නොඇසුණා සේ සිටිති. ඒ අවවාද බීරි අලින්ට වීණා වයනවා වැන්නකි.
අවවාද නොතකන ඇතැම් කෙනෙක්, තමන් කරන්නේ නොකළ යුතු දෙයක්, පාපයක් බව දැන දැනත් එහිම නිරත වෙති. ඇතැම්විට තමන් ම එය සාධාරණීකරණය කරගන්නේ ‘මා කළ පව ඉතා සුළු ය. එහි විපාක නම් කිසි කලෙක ආපසු නොඑන්නේ’ය යනුවෙනි. එහෙත් අපට වැරදුණ තැන ද එතැන ය.
බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පාප වග්ගයේ දී දේශනාකොට වදාළේ තමා කළ පාපය ඉතා සුළු ය. එහි විපාකය තමන් වෙත නොඑන්නේය යනුවෙන් සුළුකොට නොතැකිය යුතු බව ය. දිය බිඳෙන් බිඳ එකතු වී ටිකෙන් ටික කළය පිරෙන්නා සේ මදින් මද රැස්වන පව් නිසා අඥාන පුද්ගලයා පවින් පිරෙන බව උන්වහන්සේ දේශනා කොට වදාළහ.
තථාගතයන් වහන්සේ අනඟි මිණි මුතු වන් මේ ඔවදන් ලබා දුන්නේ අප වෙත පෑ මහා කරුණාවෙනි.
No comments