මේ බුද්ධ ශාසනයේ පළමුවෙන් ම භික්ෂුවකගේ බඹසරට හානි වූයේ සම්බුද්ධත්වයෙන් වසර 20ක් ගිය තැනයි. එතෙක් ලක්ෂ සංඛ්‍යාත භික්ෂූන් අතරින් එක භික්ෂුවක්වත් බඹසර පළුදු කර ගත්තේ නැත. බලන්න කෙතරම් විස්මිත යුගයක් ද කියා. බඹසර කැඩුණු සුදින්න භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ අවවාද කළ සේක.
“හිස් පුරුෂය. නුසුදුසු වූ, නොගැළපෙන, අයෝග්‍ය වූ, ශ්‍රමණයන්ට අයත් නැති අකැප දෙයක් නේ ද කළේ? කෙසේ නම් හිස් පුරුෂය, මෙසේ මැනැවින් දෙසූ ධර්ම විනයෙහි පැවිදිව දිවි ඇතිතාක් පිරිපුන් බඹසර රකින්නට බැරි වී ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන් සරාගය පිණිස නොව, විරාගය පිණිස දහම් දෙසූවේ නො වේ ද? කාමයන් හා එක්වීම පිණිස නොව, විසංයෝගය පිණිස ම දහම් දෙසුවේ නො වේ ද? කාමයට බැඳීම පිණිස නොව, උපාදාන රහිත වීම පිණිස ම දහම් දෙසුවේ නො වේ ද? හිස් පුරුෂය, නුඹ මා විසින් රාගය දුරුකරන්න යැයි දහම් දෙසද්දී, රාගය පිණිස සිතුවා නේ ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් රාග විරාගය පිණිස, මද නැති වීම පිණිස, කාම පිපාසය දුරු කිරීම පිණිස, ආලය සහමුලින් නැති වීම පිණිස, නැවත කරකැවි කැවී සසරට වැටීමෙන් නිදහස් වීම පිණිස, තෘෂ්ණාව ක්ෂය වීම පිණිස, විරාගය, නිරෝධය, නිර්වාණය පිණිස ධර්මය දේශනා කරන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් කාමයන්ගේ ප්‍රහාණය කියන ලද්දේ නො වේ ද? කාම සංඥාවන්ගේ පිරිසිඳ අවබෝධ කිරීම ගැන කියන ලද්දේ නො වේ ද? කාම පිපාසාවන්ගේ දුරලීම ගැන කියන ලද්දේ නො වේ ද? කාම විතර්කයන්ගේ නැසීම ගැන කියන ලද්දේ නො වේ ද? කාම පරිදාහයන්ගේ සන්සිඳීම කියන ලද්දේ නො වේ ද?”
(පාරාජිකා පාළි – ප්‍රථම පාරාජිකා නිදානය)
මේ අයුරින් ද තවත් අනේක ආකාරයෙන් ද භාග්‍යවතුන් වහන්සේ සුදින්න භික්ෂුවට ගැරහූ සේක. මහා කරුණාවෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ මෙසේ අවවාද කරන්නේ, ගරහන්නේ කාමය එතරම් දීන නිසාවෙනි. අපිත් මේ අවවාද සිහිකොට කාම විතර්කවලට බැට දිය යුතු ය. අවවාද කර ගත යුතු ය. එවිට පිරිපුන් බඹසරක් රැකීමේ වාසනාව උදාවනු ඇත. භාග්‍යවතුන් වහන්සේගේ පරම විරාගී බ්‍රහ්මචාරී ජීවිතයේ අනුහසින් ඔබට ද බඹසර සීලය පුරුදු කිරීමේ වාසනාව උදා වේවා!!!
– මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
No comments