විඩූඩභ රාජ්ය ලබපු ගමන් මතක් වුණේ ශාක්යන්ගෙන් පලිගන්න ඕනා කියල. සියළු සේනාවන් සමග උදයේම පිටත් වුණා. භාග්යවතුන් වහන්සේ ශාක්යන්ට වෙන්න යන විනාශය දැකලා නෑයන්ට සංග්රහ කලයුතු කියල සිතා පිණ්ඩපාතය වැඩ දන් වළඳා මදක් සැතපී සිට සවස් කාලයේ සේනාව යන මර්ගයේ තුනී සෙවණක් ඇති අතු ඉති පමණක් තියෙන ගසක් මුළ වඩී වී වැඩ සිටියා. විඩූඩභ භාග්යවතුන් වහන්සේ දැකල වන්දනා කරල ඇහුව්වා මේ මහ අව්වේ හෙවනක් නැති ගහක් යට වැඩ ඉන්නේ ඇයි ? ඝන සෙවණ තියෙන නුගරුකක් යට වැඩ ඉන්න කියල කිව්වා. එවිට පිළිතුරු දුන්නා " මහරජ එය එසේමයි එනමුදු නෑයන්ගේ සෙවන ඊටත් වඩා සිසිලසයි කියල වදාළා. විඩූඩභ හට තේරුණා භාග්යවතුන් වහන්සේ නෑයන් රකින්නට තමයි වඩින්නට ඇත්තේ කියල ආපසු ගියා. මේ විදියට තුන් වතාවක් විඩූඩභ නැවැත්වූවා.
භාග්යවතුන් වහන්සේ බැලුවා තුන්වතාවක් වළක්වද්දීත් ඇයි මේ නෑයන් මරන්නට එන්නේ කියල. එතකොට දැක්කා මේ ශාක්ය පිරිස පෙර කොවුල් ගමක ඉපිද ගඟට වස මිශ්ර කිරීම නිසා හටගත් පාපය තමයි මේ පසුපසින් එන්නේ කියල. මොකද ගඟට වස දැම්මාම සෑහෙන මාළු ඇතුළු ජලජ ජීවීන් විනාශ වෙන්න ඇති. එකට පව් කලොත් එකටම විපාක දෙනවා. අපිට බාහිරින් බලලා කරුණු කාරණා තේරුම් ගන්න හැදුවා නම් වරදිනවානේ. බලන්න භාග්යවතුන් වහන්සේ පූර්ව කර්ම පෙන්වා දුන්න හැටි. ඊට අනුව සියළු කාරණා පෙළ ගැස්සෙනවා. විඩූඩභ හට පෙර ආත්ම වල ඉඳන් එන තරහක් තිබුණේ නෑ. එහෙනම් ඔහුව ඒ තැනට ඇද දැමුවේ ශාක්යන්ගේ මේ කර්මය නිසා. කෙනෙක්ගේ කර්මයක් ගෙවෙන්නේ තව කී දාහක් නම් ඒ කර්මයටම හසුකරලද කියල බලන්න. මේ සසර භයානක නැද්ද?
භාග්යවතුන් වහන්සේ සතර වෙනි වතාවට විඩූඩභ නවත්වන්න ගියේ නෑ. ශාක්යන් කියන්නේ බුදුරජණන් වහන්සේගේ නෑ පිරිසනේ. ඉතින් අවම තරමින් ඒ ශාක්යන් සියළු දෙනා තිසරණ සහිත පන්සිල් රකින පිරිසක් වෙන්න ඇති. මොකද ශාක්යන් කල්පනා කළා අපි දුනු ශිල්පයේ ඉතාමත් දක්ෂ අය. එනමුත් අනුන්ව විදලා මරන්න අපිට බෑ. එනිසා අපේ දස්කම් පෙන්වලා පලවා හරිමුයි කියල පිටත් වුණා. යුධ බිමට ඇවිත් ශාක්යන් හී තල විදින්නට වුණා. ඔවුන් ඒ හී විද්දේ අනතුරක් නොවන විදියට. සමහර හී ඔවුන්ගේ ආභරන එල්ලපු කන් සිදුරු තුළින් ගියා. ඇඟ ළඟින් එහෙ මෙහෙ යනවා. මොනතරම් දක්ෂ වෙන්න ඇත්ද? ඉතින් එක යුධ භටයෙක් විඩූඩභ හට කිව්වා ස්වාමිනි, ඔබ බැලුවාද ? ශාක්යන් අපේ මිනිසුන් නසයි කියල කියන්නේ ඇයි? අපේ කිසිම කෙනෙක් මැරුණේ නෑ. බොරු නම් ගණන් කරලා බලන්න කියල කිව්වා. ඇත්තටම ගණන් කරල බලන කොට කිසිම අඩුවක් නෑ. බලන්න ශාක්යන් තුළ තිබිච්ච සීල ගුණය මොනතරම්ද කියල.
විඩූඩභ කිව්වා ඒ වුණාට කමක් නෑ යමෙක් අපි ශාක්යන් කියල කියයිද ඒ සියල්ලන්ම මරන්න මගේ මුත්තණුවන් වූ මහානාම ශාක්ය පමණක් ජීවග්රහයෙන් අල්ලා ගන්න කියල. අසත්පුරුෂයාට කරුණු කාරණා තේරුම් කරල දුන්නා කියා වැඩැක් නෑ. විඩූඩභගේ සේනාව ශාක්යන් අතරට පැන එකි නෙකා පෙති ගසන්නට වුණා. මොනතරම් යුද්ධ ශක්තියක් ශිල්පීය හැකියාවක් තිබුණත් බුද්ධ ලේ ධාතුවට කිලිටියක් එක්කරන්නට අකමැති වූ නිසා ඔවුන් ආයුධ අත්හැර දැමුවා. ජීවිතය නිසාවත් ප්රානඝාතයක් නොකරන්න තරම් ඔවුන්ගේ සිත් තුළ තිබු සංවර බව පුදුමයි. ඇතැමුන්ගේ කෙස් වැටි වලින් අත්පා වලින් අල්ලාගෙන තෙපි ශාක්යන්ද කියල ඇහුව්වාම ඔවුන් නොබියව දිවි ගියත් බොරු නොකියන නිසා ඔව් කියල කියු සැණින් කඩු පහර දෙනවා. ඔය විදියට ශාක්යන් සමූළඝාතනය වුණා. දිවි ඉතිරි වුණේ මහානාම රජු සමග සිටි පිරිසයි ශාක්යන් නොවන පිරිස පමණයි. කුඩාද ළදරුද බාලද මහළුද ස්ත්රීද මේ කිසි භේදයක් නැතිව පෙති ගසමින් මරලා දැම්මා. ඔවුන්ගෙන් ගලා ගිය ලේ දහරාවෙන් අසත්පුරුෂ විඩූඩභ එදා හිඳගත් ආසනය සෝදලා දමමින් තම කෲර අදහස ඉෂ්ටකර ගත්තා.
විඩූඩභ අතින් මිය පරලොව ගියේ හොඳින් තිසරණයේ පිහිටි සිල් ගුණදම් රැකි මගඵල ලාභී උපාසක උපාසිකාවන් පිරිසක්. සිල්වතුන්ට ගුණවතුන්ට විපතක් කළොත් ඉහළට විසිකල දුහුවිල්ලක් තමා කරා එනවා වගේ ඒ බාලයා පිටුපස එනවාමයි. මෙතැන අපි මතක් කරගන්න ඕන ප්රධානම දෙයක් තමයි අපි අද ධර්මයක පිහිටලා හිටියත් අතීතයේ කල ඇතැම් අකුසල් විපාක දෙන්න පුළුවන් කියල. මේ ශාක්ය පිරිස පෙර එකටම දිවි ගෙවමින් ගඟට විස යොදමින් මාළුන්ගේ දිවි තොරකිරීමේ විපාකය එලෙසම ආපු හැටි බලන්න. එය විපාක දීමට තමයි විඩූඩභව කර්මය විසින් මෙහෙයෙව්වේ. අනුන්ගේ අකුසල කර්මයක් ගෙවෙන්නේ තව කී කෝටියක් නම් ඒ අකුසලයට ඈඳා ගෙනද?
අර ශාක්යන් නම් අනිවාර්යෙන් දෙව්ලොව යන්න ඇති. එහෙදි දහම් මග දියුණු කරලා සසරින් එතෙර වේවි. නමුත් එතකොට තව කී දාහක් නම් ඒ අකුසලයටම බැඳුණද? අනිත් අතට පෙර ශාක්යන් කල පාපයට වඩා මෙදා විඩූඩභ කළ පාපය බලවත්. හේතුව ඔවුන් දිවි තොරකළේ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා පිරිසකගේ නිසා. සසරේ යන අපිට මේ අනතුර නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. බොහෝ වාර ගණනක් මහගෙදර වගේ දුගති ලෝකවල උපන් අප තුළ අසත්පූරුෂ ධාතු ඕනාතරම් තියෙනවා.
විඩූඩභ මහානාම රජු අල්වාගෙන ආපසු යන්න පිටත් වුණා. උදේ ආහාරය ගන්නා වෙලාව ආවාහම එක් තැනක නැවතුණා. විඩූඩභ මුල් වතා තුනේම එනකොට භාග්යවතුන් වහන්සේ පිණ්ඩපාතය වැළඳු පසුවනේ දහවල මුණගැහුණේ. එහෙනම් ඔවුන් ඇවිත් තියෙන්නේ දහවල් කාලයේ. දැන් උදේ ආහාර වෙලාව අතරමග යෙදුණා කියන්නේ ඔවුන් රැයක් එළිවෙනකල්ම ශාක්යන් සංහාරය කරතිබෙනවා. ඉතින් විඩූඩභ තමන් සමඟ එකට ආහාර ගන්න ලෙස මහානාම රජුට කිව්වා. මොකද ශාක්යන් අඩුකුලයේ අය එක්ක එකට ආහාර ගන්නේ නති නිසා විඩූඩභට වුවමනා වුණේ ඒ මාන්නය සිඳින්න. මහානම රජු අසල විලක් දැකලා කිව්වා මුළින්ම මට නාගන්න ඕන කියලා. විඩූඩභ අවසර දුන්නා . රජු දැඩි රැකවල් මැද විල ළඟට ආවා. හිතුවා විඩූඩභ මා ඔහු සමඟ ආහාර නොගන්නා නිසා මරාදමනවා. ඊට වඩා හොඳයි මමම සියදිවි නසාගන්න එක කියල.
මහානාම රජු කියන්නේ ශාසනයේ සිල්වන්ත උපාසකයෙක්. සූත්ර පිටකයේ මහානාම රජු නමින් සූත්ර කිහිපයක්ම තියෙනවා ඔබ සමහර විට දැක ඇති. එක් වරෙක මහානාම රජු භාග්යවතුන් වහන්සේගෙන් ඇහුව්වා මේ ගිහි ජීවිතයේ අධික කටයුතු වල යෙදිලා ඉන්න කොට තුරුණුවන් සිහිකරගන්න ලැබෙන්නේ නෑ. එහෙම වෙලාවක මැරුණොත් මම කොහේ යයිද කියල බයක් දැනෙනවා කියල.
එතකොට භාග්යවතුන් වහන්සේ වදාළා " මහානාම භය වෙන්න එපා. ඔබගේ මරණය අලාමක දෙයක් වන්නේ ය. අලාමක කලුරිය කිරීමක් වන්නේ ය.යම්කිසිවෙකු තුළ බොහෝ කලක් තිස්සේ ශ්රද්ධාව සීලය ශ්රැතය ත්යාගය ප්රඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම් එය උඩු අතට යන්නේ වෙයි. විශේෂගාමී වෙයි." කියල. ඒ ශ්රී මුඛ දේශනාවෙන්ද අනෙක් සූත්ර වලින්ද පෙනෙනවා ඔහු සෝථාපන්න වත් වෙන්න ඇති කියල. සියදිවි නසා ගත්තොත් අනිවාර්යෙන්ම දුගතියේනේ. අන්න ඒ නිසයි ධර්මයෙන්ම ඔහුව බේරා ගත්තේ, දැන් ශාක්යන් අර විදියට සංහාර වෙද්දී මහානාම රජුට හිතුණා නම් අනේ මන් වගේ ධර්මයේ හැසිරුණ කෙනෙක්ට මෙහෙම වෙන්න පුළුවන්ද කියල ඔහුට ඒ රැකවරනය ලැබෙන්නේ නෑනේ. මොකද ගොඩක් අයට ලොකු හදිස්සියක් තියෙන්නේ ප්රතිඵල බලා ගන්න. නමුත් ධර්මය ගැණ විශ්වාසය තියාගෙන ඉන්ද්ර කීලයක් වගේ නොසෙල්වෙන පැහැදීමක හිටියා නම් ලෝකයම අළු වෙනවා කිව්වත් බයවෙන්න ඕන නෑ. රැකවරණය සුදුසු වෙලාවට ලැබෙනවා. බුද්ධ වචනය කිසි දිනෙක බොරුවක් වෙන්නේ නෑ.
විල ළඟට ගිය මහානාම රජු තම දිගු කෙස් වැටියෙන් ගැටයක් සාදා ගෙන නැමිලා අත් පා ඒ තුළට දමාගෙන දියට පැන්නා. ඔහු එහෙම කළේ අත් පා ගැට ගැහුණාම පිහිනගන්න බැරි නිසා දියේ ගිලී මැරෙන්නයි. භටයින් හිතන්න ඇති ඒක වතුරට පනින ක්රමයක් කියල. ඉතින් රජුගේ අතපය ගැට ගැසී ගිලෙන්නට වුණා. අන්න ඒ මොහොතේ රජුට ධර්මයේ පිහිට ලැබුණා. රජුගේ ගුණ තෙද කමින් නාගලෝකයම උණුසුම් වෙලා ගියා. නා රජු හේතුව බැලු විට දියේ ගිලෙන රජ තුමා නිසා කියල දැනගෙන ඉර්ධියෙන් ගොස් රජුව නාග භවනට කැඳවාගෙන ආවා. එදා පටන් මහානාම රජු මිය යන තෙක්ම ( අවුරුදු දොළසක් ) නාග ලෝකයේමයි හිටියේ. මේ කතාවෙනුත් ඔප්පු වෙනවා නාගයි කියන්නේ මනුස්ස කොට්ඨාසයක් නෙමෙයි කියල. නොදන්නා කමට තමයි ඔක්කොම අවුල්.
විඩූඩභ රජුගේ ප්රමාදය නිසා හැමතැනම සොයල බැලුවා. සේනාව ඇතුළෙත් හොයලා බැලුවා. ඔහු පලායන්නට ඇති කියල හිතල පිටත් වුණා. ඔහොම ගිහින් රාත්රි කාලයේ අචිරවති ගඟ ළඟට ඇවිත් කඳවුරු බැඳ ගත්තා රාත්රිය පහන් කිරීමට. ගඟේ වතුර අඩු වී මැද වැලි ගොඩෙලි පවා මතුවෙලා තිබුණා. සමහරු ගඟ මැද ඒ වැලි ගොඩෙලි මත නිදා ගත්තා. තවත් අය ගොඩ නිදා ගත්තා. ඔය ගඟ තුළ නිදා ගත් පිරිස තුළයි ගොඩ නිදා ගත් පිරිස තුළයි පෙර පව් නොකළ පිරිස් හිටියා. එනිසා මෙගොඩ සිටි පව් කළ අය නිදා ගත් තැන් වලයි ගඟ මැද පව් නොකළ අය සිටි තැන් වලිනුයි කඩි මතුවෙලා ඔවුන්ව සපා කෑව. එතකොට ගඟ මැද නිදා සිටි පව් නොකළ අය කඩි නිසා ගොඩට ඇවිත් නිදා ගත්තා. මෙගොඩ සිටි පව් කළ අය කඩි නිසා ගඟ තුළට ගිහින් නිදා ගත්තා. කර්මය විසින් සත්වයාව මෙහෙයවන හැටි පුදුමයි. මේක දකින්න නුවණක් නැති කම නිසා තමයි කෙන කෙනාට ඇඟිල්ල දික් කරන්නේ.
රාත්රි ගඟ ඉස්මත්තට ධාරානිපාත වර්ෂාවක් ඇද වැටුණා. සිඳි ගිය අචිරවතී ගංඟාව පිටාර ගලමින් වේගයෙන් පහලට ඇදිලා ආවා. ඒ දියපහරට විඩූඩහ ඇතුළු පව් කම් කළ සියළු දෙනා මුහුදට ගසාගෙන ගිහින් මුහුදු ජීවින්ගේ ආහාර බවට පත්වුණා. ඔවුන් කළේ අනුන්ගේ අත් පා සිඳීමනේ. බලන්න ඒ විදියටම විපාක දුන්න හැටි. නැත්නම් ගඟේ ගිලිලා මැරෙන්න තිබුණනේ. මුහුදේ මෝරුන් ආදී භයානක සතුන් ඔවුන්ගේ අත් පා උගුල්ව උගුල්වා කමින් බිහිසුණු මරණයකට පත්කරවන්න ඇති. සීලවන්ත ගුණවන්ත පිරිසකට විපත් කිරීමේ පාපය රැයක් එළිවෙන්නත් කලින් විපාක දුන්නා. අරහත් ධජය දරනා මහා සංඝරත්නයට නින්දා අපහාස කරන අයටත් බ්රහ්මයන්ගේ ගුණ කඳ හා සමාන මව්පියන්ටත් නොසළකන දරුවන්ටත් එහි විපාක වශයෙන් දුක් පීඩා කරදර නින්දා ඔවුන් වෙත මෙලොව දීම නොලැබෙනවායි කියා කොහොම නම් කියන්නද?
No comments