කාශ්‍යප බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි බරණැස් නුවර වැසි සැදැහැවත් මිනිස්සු උන්වහන්සේගේ ධාතු වඩා රන් දාගැබක් ගොඩ නැගූහ.ඒ කාලයේ ප්‍රත්‍යන්තවාසී පුරුෂයෙක් බොහෝ රත් සඳුන් ගෙන බරණැස පිහිටි ඔහුගේ මිතුරෙකුගේ නිවසට ගියේය. අනතුරුව ඒ මිතුරා බොහෝ සඳුන් ගල ගා කුඩු කර පාත්‍රය පුරවා "එන්න යහළුව බත් පිසන තෙක් චෛත්‍යය කරන ස්ථානයට ගොස් එන්නෙමුයි", ඔහු ද රැගෙන එහි ගොස් සඳුන් කල්කය පුජා කළේය. ඒ ප්‍රත්‍යන්තවාසී පුරුෂයා චෛත්‍ය ගැබ සඳුන් වලින් සඳ මඩල (ආකෘතිය කළේය) ඔහුගේ පුර්ව කර්මය මෙයයි.
ඔහු ඉන් චුත වූයේ දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් එහි ගතකොට මේ බුද්ධෝත්පාදයේදී රජගහ නුවර බ්‍රාහ්මණ මහාසාල කුලයේ උපන්නේය. ඒ දරුවාගේ බුරිය පෙදෙසින් සඳ කැලුම් වැනි රශ්මියක් විහිදෙන්නට විය. මොහුට සඳ කැලුම් යන අරුතින් “චන්ද්‍රාභ” යයි නම තැබී ය. පසු කලෙක දී ඒ බ්‍රාහ්මණයෝ මේ කුමරුන් සරසන ලද දෝලාවක නංවාගෙන දඹදිව පුරා ප්‍රදර්ශනය කරන්නට විය.
චන්ද්‍රාභ දැක ගත හැක්කේ මුදල් ගෙවීමෙනි. ඔහු දැක ගත් විට සියලු සැප සම්පත් ලැබී යහපත උදාවන බවත්, පරලොව සුගතිය හිමිවන බවත් බ්‍රාහ්මණයෝ ප්‍රචාරය කළහ. බොහෝ පළාත්වල ‘චන්ද්‍රාභ” කුමරුගේ නම ඇසූ පමණින් ජනයා පොරකමින් රැස්වෙති. එතරම් ම මිනිස්සු මේ මතයට මුළා වී සිටියහ.
බ්‍රාහ්මණ පිරිස “චන්ද්‍රාභ” රැගෙන නුවරින් නුවරට යද්දී සැවැත් නුවරට ද පැමිණියහ. එහෙත් වෙන පළාත්වලට වඩා සැවැත් නුවර හාත්පසින් වෙනස් විය. මේ අය පිළිගන්නට කිසිවෙක් එහි නැත. සියලු දෙනා යන්නේ ජේතවනාරාමය දෙසට ය. මේ පිරිස ද ජේතවනාරාමයට ගියහ. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක. භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් අසිරිමත් ලෙස කාන්තිමත් රැස් විහිදෙන ආකාරය චන්ද්‍රාභ බලා සිටියේ ය. ඔහු තමාගේ රැස් දෙස බැලූවිට ඒ රැස් අතුරුදහන් වී තිබුණි. මෙයින් ඔහු බොහෝ සේ කම්පනයට පත් විය. මේ ලෙසට තුන්වතාවක් ජේතවනාරාමයට පැමිණි හේ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් රැස් විහිදෙන ආකාරයත්, තමන්ගේ සිරුරේ රැස් අතුරුදන් වන බවත් දැක චන්ද්‍රාභ මෙලෙස සිතුවේය. බුදුහු ප්‍රභාව නැතිකිරීමේ මන්ත්‍රයක් දනී යයි සිතමි.
ඔහු බුදුන්ගෙන් විමසුවේය. මගේ ප්‍රභාව නැතිකරන මන්ත්‍රයක් දන්නේද? ඔව් දනිමි. එසේ නම් එය මට දෙන්න. පැවිදි නොවූවෙකුට දෙන්නට නොහැකිය.
චන්ද්‍රාභ පසුව බ්‍රාහ්මණයින්ට මෙසේ කීවේය. "මේ මන්ත්‍රය ගත් පසු මම මුළු දඹදිව ජ්‍යෙෂ්ඨයා වන්නෙමි තෙපි මෙහිම සිටිමු. මම පැවිදිවී දින කීපයකින් මන්ත්‍රය ගන්නෙමි."
ඔහු බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලා ගෙන උපසම්පදාවද ලැබුවේය. පසුව ද්වත්තිංසාකාරය වදාළේය. ඔහු මේ කුමක්දැයි විමසුවේය. මෙය මන්ත්‍රයට පරිකර්මයයි. වඩන්නට වටී. බ්‍රාහ්මණයෝ වරින් වර පැමිණ මන්ත්‍රය ගත්තේදැයි විමසති. තවම නොහැකිවිය. ඔහු දින කීපයකින් ම අරහත්වයට පත්විය. බ්‍රාහ්මණයින් පැමිණ විමසුවිට තෙපි යමු දැන් මම නොපැමිණෙන ධර්මයට පැමිණුනේ වෙමි. භික්ෂුහු බුදුන්ට දැනුම් දුන්හ. ස්වාමීනි මොහු අභූතයක් කියා අනෙකක් විස්තර කරයි. මහණෙනි. දැන් මගේ පුතුගේ නදිය ශීරාවිය. කිය යුතු දෙයක්ම වු දෙයක්ම දැන් කියයි. පවසා මේ ගාථාව පැවසුහ.
චන්දං’ව විමලං සුද්ධං
විප්පසන්නමනාවිලං
නන්දීභවපරික්ඛීණං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං
ඔහු පුන්සඳක් වගේ නිර්මලයි. පිරිසිදුයි. අතිශයින්ම ප්‍රසන්නයි. කැළඹිලි නෑ. භව තෘෂ්ණාව නැතිකරලයි ඉන්නෙ. අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
දේශනාව අවසානයේ බොහෝදෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය.
No comments