ඔබ කෑම කනවද? වළදනවද?

Share:

බුද්ධාවවාදය නම්, ප්‍රත්‍යවේක්ෂා කොට ආහාර ගත යුතු බව ය. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ සිහි කල්පනාව උපදවා ගෙන ආහාර ගැනීම ය. මෙහි සිහි කල්පනාව උපදවා ගන්නවා කියන්නේ


“යාවදේව ඉමස්ස කායස්ස ඨිථියා යාපනාය’


‘මේ ශරීරයේ පැවැත්ම සඳහා මම ආහාර ගනිමි’ කියන අදහසයි. එසේ නොමැතිව රසයට ගිජු වී, රස තෘෂ්ණාව සන්තර්පණය කිරීම සඳහා නොවේ. ශරීර වර්ණය සහ ශෝභාව ඇතිකර ගැනීම සඳහා ද නොවේ. සමාජ තත්ත්වය පෙන්වීම සඳහා ද නොවේ. ආහාර ගත යුතු ශරීරයේ සෞඛ්‍ය සම්පන්න පැවැත්ම සඳහා පමණි.


මෙහි දී පැහැදිලි කරගත යුතු දෙයක් තිබේ. එනම්, මැනවින්. සිහි කල්පනාව ඇතිව ආහාර ගන්නා ක්‍රමය යන්න “වැළඳීම” යන වචනයෙන් ගම්‍ය වන බව ය. ‘කනවා’ කියන වචනයෙන් ගම්‍ය වන්නේ සාමාන්‍යයෙන් බුද්ධියෙන් තොරව ආහාර ගැනීම ය. සත්තුද කෑම කති. ඒ වගේ ම නූගත් මනුෂ්‍යයා කරන්නේ ද කෑම ය. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘කන්න එපා. වළඳන්න’ යනුවෙනි. වළඳන පුද්ගලයා එනම්, සිහියෙන්. බුද්ධියෙන් ආහාර ගන්නා පුද්ගලයා


‘ආහාර මත්තඤ්ඤුතා’ ආහාරයේ පමණ දනී, ස්වභාවය දනී. මෙහි දී පමණ දැනීම ඉතා වැදගත් ය.


“ඉධච්ඡා පරමා රෝගා’ මනුෂ්‍යයා පෙළෙන බරපතළ ම රෝගය කුසගින්න බව සම්බුද්ධ දේශනාවේ සඳහන් වේ. එම රෝගයට ඖෂධය නම් ආහාරය යි.ඒ අනුව ආහාර කියන්නේ බෙහෙතක් මිස වෙන කිසිවක් නොවේ.


බෙහෙත යනු ලෙඩට ගන්නා ප්‍රතිකාරයයි. ලෙඩට ගන්නා ප්‍රතිකාරයට ප්‍රමාණයක්, වේලාවක් තිබේ. ආහාර ගත යුතු ද මේ විදියට ය. අපේ ආහාරයට වේලාවක් ද, ප්‍රමාණයක් ද තිබේ. සමහරු සිතුණ වේලාවට පමණ ඉක්මවා ආහාර ගනිති. කුමක් සඳහා ද?. රස නහර පිනවීම ම පරමාර්ථය කර ගනිමිනි. ඊළඟට තෝරමින් ආහාර ගනිති. තවත් කෙනෙක් සමාජ තත්ත්වය පෙන්වීමට ආහාර ගනිති. 


අද ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් දියවැඩියාව, රුධිරයේ අධික තෙල් තැන්පත් වීම ආදි රෝගාබාධයන්ට ගොදුරුව සිටින්නේ දිවට රස සොයමින් බොහෝවිට සීනි සහ තෙල් භාවිතයෙහි කෑදර වීම නිසා ය. එහෙත් ප්‍රත්‍යවේක්ෂා කරගෙන ආහාර ගන්නා විට මේ ආහාරය මට සුදුසු ද? ගුණද? අගුණ ද? ප්‍රමාණවත් ද? නොවේ ද? යන්න පිළිබඳ සිතයි. ආහාරය ගැන පමණක් නොවේ. වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ගැන ද සිතයි. එවිට සෞඛ්‍ය සේ ම ආර්ථිකය ද එක්තරා ප්‍රමාණයකට සුරක්ෂිත ය.


ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ රස පෙන්වමින් ජනතාව මුළා කොට රස නහර උද්ධීපනය කරයි. ව්‍යාපාරිකයෝ ආහාරයට විවිධ රස කාරක, සුවඳ වර්ග හඳුන්වා දෙයි. ශාකමය ආහාර වලට සත්ත්ව මාංශමය රස හඳුන්වා දෙයි. මේ රසායනික ද්‍රව්‍ය බොහෝවිට පිළිකා කාරක ය. එහෙත් සිහි නුවණින් යුතු ව තමන්ට සුදුසු ආහාරය ගන්නා  කෙනා කිසි දිනෙක මේ ආගාධයෙහි නොවැටේ.


ගිහි පැවිදි දෙපාර්ශ්වය වෙනුවෙන් අප තථාගතයාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ආහාර ගැනීමේ පුරුදු අමතක නොකළ යුතු ය.


අද සමාජයේ සියයට පනහකට බොහෝ පිරිසකට දියවැඩියාව ය. පිළිකා රෝගීන් නැති ගමක් සොයා ගන්නට නැති තරම් ය. මේ තරම් භයානක ලෙඩ රෝගවලට අප මුහුණ දී සිටින්නේ වැළඳීම අමතක කොට කෑමට පුරුදු වීම නිසා ය.


‘ආරෝග්‍ය පරමා ලාභා’ ලොකු ම ලාභය නිරෝගිකම ය. එය අප සැමට උරුම ය. ලබා ගත හැකි දෙයකි. අවශ්‍ය සිහි බුද්ධියයි.


No comments