දුටුගැමුණු රජතුමා ලංකාව එක්සේසත් කර රජ මාළිගයේ සිටියදී කරඬුවක තිබුණ රන් පතක් හමු වුණා. ඒ රන්පතේ ලියා තිබුණා නමින් දුටුගැමුණු කියන රජෙක් පහළව දිව්‍ය ස්වභාවයෙන් යුතු සුන්දර නවමහල් ප්‍රාසාදයක් කරවා සඟ සතු කර පූජා කරනවා කියා. රජුට එය දුටු විගස ප්‍රීතියෙන් පිනා ගොස් සතුටුව සංඝයා මුණගැසෙන්න ගියා. ගොස් වන්දනා කර කියනවා “මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලියවා තිබෙන රන් පතක් හමු වුණා. එහි සඳහන් වෙනවා මා විසින් ප්‍රාසාදයක් කරවා පූජා කරන බවට. ස්වාමීනි, මට මේ ප්‍රාසාදය ඉදිකරන තුරු ඉස්පාසුවක් නැහැ. එනිසා ඔබවහන්සේලා පුළුවන් නම් මට මේකට හොඳ සැලැස්මක් සාදා දෙන්න. හැබැයි මේ සැලැස්ම මිනිස් ලෝකයේ තිබෙන එකක් නො විය යුතුයි. ඔබවහන්සේලාට මහා ඍද්ධි තිබෙනවානේ. දෙව්ලොවට වැඩම කොට දෙව් විමානයක සැලැස්මක් මට ගෙනත් දෙන්න.” කියා ආරාධනා කළා. ඍද්ධිමත් රහතන් වහන්සේලා අටනමක් තව්තිසාවට වැඩියා. තව්තිසාවේ තිබෙන විමානෙන් විමානය බලමින් යන විට රන්, රිදී, මුතු, මැණික්වලින් බබළන සුන්දර ඉතාමත් ලස්සන විමානයක් දුටුවා.
රහතන් වහන්සේලා ඒ විමානය අසල නැවතුනා. උන්වහන්සේලා දුටුවා දහසක් දිව්‍ය අප්සරාවෝ ඒ විමාන ඇතුළේ නටනවා. ගයනවා. මේ විමානය කූටාගාර දහසකින් දිලිසෙනවා. ඉතින් රහතන් වහන්සේලා ‘මේ විමානය අපේ රජතුමාගේ ප්‍රාසාදයට හොඳයි’ කියා සිතා ඒ විමානයේ අයිතිකරු ගැන විපරම් කළා. සුන්දර දෙවඟනක් ඇවිත් රහතන් වහන්සේලාට වන්දනා කළා. “ස්වාමීනි, මම තමයි භරණී දෙව්දුව.” රහතන් වහන්සේ වදාළා, “දෙව්දුව, මේ විමානය සුන්දරයි. ඔබ මෙතරම් සැප විඳින්නේ මිනිස් ලොවදී ජීවිතය හසුරුවාගත් පිළිවෙළ කුමක් ද? ඔබ කුමන නම් පිනක් කර ගත් තැනැත්තියක් ද?” කියා.
භරණී දෙව්දුව කියනවා, “ස්වාමීනි, මම මේ දෙව්ලොවට ගෞතම බුද්ධ ශාසනයේදී පින් කර ආ තැනැත්තියක් නෙවේ. මීට බුද්ධාන්තර කල්පයකට කලින් මිනිසුන්ගේ ආයුෂ විසිදහසක් වූ කාලයේ කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළ වුණා. මම ඒ කාලයේ මිනිස් ලෝකයේ ඉතා දුප්පත් දාසියක්. ඒ ජීවිතයේදීත් මගේ නම භරණී. මම වැඩ කළ නිවසේ ස්වාමියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මසකට දාන අටක් බාරගෙන තිබුණා. එනිසා ඒ නිවසට නිතර ම තථාගතයන් වහන්සේ වඩිනවා. සංඝරත්නය වඩිනවා. ඉතින් ස්වාමීනි, මම තමයි සියලු දාන සැකසුවේ” කියලා කිව්වා.
දැළි කුණු තැවරුන වස්ත්‍ර ඇඳගෙන, දැළි කුණු තැවරුණු මුළුතැන් ගෙයක ඉතා ම දුකසේ යි ඇය කටයුතු කළේ. ඇය ලක්ෂ ගණන් භික්ෂූන් වහන්සේලා උදෙසා දානය සැකසුවා. අනුන් යටතේ වුවත් ඇය මහත් වූ ශ්‍රද්ධාවෙන් දානය පූජා කළේ. ඇය නිතර ම සිහි කළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මම දානය පිළියෙල කරනවා කියා. බුදුගුණ සිතමින් සියලු වැඩ කළා. බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක, මහා ප්‍රඥා ඇති සේක ආදී ලෙස බුදු ගුණ සිත සිතා එළවළු කපනවා. බුදු ගුණ සිතමින් බත පිසිනවා. ඇය ඉතා ම සුන්දර ලෙස සිත සකසා ගත්තා. ඒ නිසා ම පිනත් සැකසී ආවා. ඇය පිසූ දානය අනෙක් අය පිළිගන්වන විට ඈ දුරට වෙලා ‘මගේ දෑතින් පිළියෙල කළ දානය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයට පූජා වේවා!’ යැයි කියමින් එය අනුමෝදන් වුණා. පරලොවට ගෙනියන්න දෙයක් ඇය රැස්කර ගත්තා.
ඒ වගේ ම ඒ දෙව්දුව කියනවා, “ස්වාමීනී, මගේ ජීවිතයේදී මම සුදනන් ඇසුරු කළා. ඒ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩියා ම නිවසේ උදවිය උන්වහන්සේ සමීපයෙහි වාඩි වෙනවා. මම ඈතට වෙලා බුදුරජාණන් වහන්සේ වදාරණ දහම් පදය අසනවා. දරා ගන්නවා. දහම් පද වචනයෙන් පුරුදු කර ගන්නවා. මනසින් හොඳින් මෙනෙහි කරනවා. අවබෝධයෙන් ගළපා ගන්නවා. නැවත මුළුතැන්ගෙට ගොස් වැඩ කරනවා.”
ඒ දෙව්දුවගේ අදහස අද කාන්තාවන්ටත් වටිනවා. ඇය සිතනවා දරුවෝ පාසල් ගියාම, රැකියාවෙන් විශ්‍රාම ගත්තාම, නිදහසක් ලැබුණදාට මේ ධර්ම මාර්ගය පුරුදු කරනවා කියලා. නමුත් වෙලාවක් එනතුරු බලා නොසිට, තිබෙන තිබෙන වෙලාවට ඇසූ දහම් කරුණු මෙනෙහි කරනවා නම්, ඇයට කාලයේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. අතුපතු ගාද්දී ඇසූ ධර්මය මෙනෙහි කරනවා. නුවණින් විමසනවා. බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි කරනවා. අනිත්‍ය, අසුභය සිහි කරනවා. ඒ දෙව්දුව රහතන් වහන්සේලාට පවසනවා, “ස්වාමීනි, මම හොඳට සුදනන් ඇසුරු කරලයි මෙහේ ආවේ” කියලා. එහෙම නම් ඇසුර කියන්නේ යම් පුද්ගලයෙක් ඇසුරු කර ඒ උතුමන්ගෙන් යමක් අරගෙන ඒක පුරුදු කරගන්නට තිබෙන හැකියාව යි. ඇය කියනවා, “ස්වාමීනි, මම සත්පුරුෂයන් ඇසුරු කළා පමණක් නො වේ, මම හොඳින් තෙරුවන් සරණ ගියා. තිසරණය කිලිටි කරගත්තේ නැහැ. ඒ වගේ ම ස්වාමීනි, මගේ හදවත වගේ පන්සිල් රැක්කා. සියලු දෙනා වගේ ම මමත් මරණයට පත් වුණා. ඒ ක්ෂණයෙන් මම ඉතා සුන්දර සැප ඇති මේ දිව්‍ය විමානයේ දහසක් අප්සරාවන්ට අධිපතිනිය වෙලා උපන්නා” කියා. ඒ දෙවඟන මනුස්ස ලෝකයේ ජීවිතය ගත කළ ආකාරය ඉතාමත් සුන්දරයි.
එහෙම නම් ඔබ සිතන්න මේ මිනිස් ආයුෂ එතරම් දීර්ඝ නැහැ. අපට පොඩි කාලය යි තිබෙන්නේ. ඒ ටික කාලයේ තිබෙන දුක් ඉවසමින් නිති පන්සිල් රකිනවා නම්, පුණ්‍ය ගංගා ගලනවා. ඒවාට මුදල් වැය වෙන්නේ නැහැ. ඒ වගේ ම අපි නිරන්තරයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා! කියා මෙත් සිත වැඩුවොත්, මෛත්‍රී සහගතව ජීවිතය ගත කළොත් ඒ සෑම මොහොතක ම පුණ්‍ය ගංගාවල් ගලනවා. සමහර පුද්ගලයන් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව සිහි කර කර කොතරම් කාලයක් ගෙවා දමනවා ද? එහෙම ලෝකයාට අපි මෙත්සිත වඩනවා නම්, අපට සැකසෙන චේතනාව සුන්දර එකක්. පින් ගඟක් ඒ ජීවිතයට ගලනවා. ඒ වගේ ම අසුරු සැණක් අපි අනිත්‍ය භාවනාව වැඩුවොත්, ඒ මොහොතේ අප්‍රමාණ පිනක් රැස් වෙනවා. හේතුඵල දහම අනුව අනිත්‍යතාවය බුද්ධ ශාසනයක පමණයි සිතන්න පුළුවන්. එනිසා මේ ලැබුණ වෙලාවේ ‘මට සල්ලි නැහැනේ’ කියමින් නොතැවී, අලසව ප්‍රමාදීව නොසිට නිරන්තරයෙන් ජීවිතයට පුණ්‍ය ගංගාවල් රැස්වන අයුරින් කටයුතු කරන ආකාරය බුද්ධ ශාසනයේ අපට කියා දී තිබෙනවා. සල්ලි සමඟ ගනුදෙනු කරන්නේ මේ මනුස්ස ලෝකයේ පමණයි. දිව්‍ය ලෝකයේ හෝ නිරයේ හෝ ප්‍රේත ලෝකයේ හෝ සල්ලි සමඟ ගනුදෙනුවක් නැහැ.
එනිසා මනුස්ස ලෝකයෙන් ඉහළ ලෝකයකට යන්න ගුණ සම්පත් දියුණු කර ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. භරණී ඉතා ම ඉවසීමෙන් නොගැටී සිටි ආකාරය ඉතා සුන්දරයි. එය දෙව්ලොව යාමට හොඳ සුදුසුකමක්. ඒ වගේම මෙත්සිත වැඩීම, ධර්මය ශ්‍රවණය කිරීම, තුනුරුවන කෙරෙහි පැහැදීම, සත්පුරුෂ ඇසුර, දෙව්ලොව ඉපදීමට හොඳ සුදුසුකම්. ඒ කිසි දෙයකට මුදල් යන්නේ නැහැ.
එනිසා පෙර ජීවිතවල දන් දීමේ අඩුවක් නිසා මේ ජීවිතයේ වස්තු සම්පත් නැතිවෙන්න පුළුවන්. නමුත් තම තමන්ට පුළු පුළුවන් ආකාරයට දෙයක් පූජා කරගන්න. ලැබෙන මුදලින් කොටසක් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරගත්තොත් දානමය පිනයි රැස් වෙන්නේ. එනිසා ඔබ තිසරණ සරණ ගිය පින, සීලමය පින නිතර සිහි කරන්න. මෙත් සිතේ පින ඕනෑම අවස්ථාවක රැස් කරගන්න පුළුවන්. ‘මුදල් නැහැ’ කියා සිත වට්ටා ගන්නේ නැතිව අහිංසක ව තිසරණය සරණ ගොස් සිල්පද රැකගෙන සිටියොත් ඔබටත් සුගතියට යන්න පුළුවන්. එනිසා සල්ලි නොමැති වීම ධර්මයේ හැසිරෙන්න බාධාවක් නො වේ කියා ඔබ අවධාරණය කරගන්න ඕනෑ.
සාකච්ඡා කළේ – නයනා නිල්මිණි
No comments