ධර්මය කියන එක හැම තිස්සේම ලැබෙන එකක් නෙවෙයි. හැමදාම ලැබෙන එකකුත් නෙවෙයි. හැමතැනම ලැබෙන එකකුත් නෙවෙයි. හැමකාලෙම ලැබෙන එකකුත් නෙවෙයි. ලෝකයේ බහුලව තියෙන්නේ ධර්මය ලැබෙන්නේ නැති, ධර්මය අතුරුදහන් වූ කාලයි.
ඔබ දන්නවද ධර්මය අතුරුදහන් වූ එවැනි කාලයක අපගේ බුදුරජාණන් වහන්සේ රජෙක් වෙලා ඉපදුණා. ඒ කාලයේ ලෝකයේ ධර්මය නෑ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ රජ කෙනෙක්. ‘මේ ලෝකයේ බුදුවරයන් වහන්සේලා පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා’ කියලා කට කතාවලින් අහන්න ලැබුණා. නමුත් ඒ මොකක්ද කියලා කවුරුවත් දන්නේ නෑ. ඉතින් මේ රජ්ජුරුවන්ට ධර්මය ගැන දැනගන්න පුදුම විදිහට ආශාවක් ඇති වුණා. ඉතින් මේ රජ්ජුරුවෝ ‘බණ පදයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, කහවණු ලක්ෂයක් දෙනවා’ කියලා අඬබෙර පැතිරෙව්වා. ඒත් කවුරුත් දන්නේ නෑ. ඊට පස්සේ ඒ ගාන වැඩි කළා. ඇතෙක් බරට වස්තුව දෙනවා’ කිව්වා. ඒත් කවුරුවත් දන්නේ නෑ. රජ්ජුරුවන්ට දැන් ධර්මය අහන්න තියෙන ඕනකම වැඩියි. ඒ නිසා රජතුමාට ‘දහම්සොඬ’ කියලා නමකුත් වැටුණා. ‘මට බණ පදයක් කියලා දෙන්න මම මේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා’ කිව්වා. ඒ දන්නෙත් නෑ. ඊට පස්සේ “කවුරුහරි බුදුරජාණන් වහන්සේ නමකගේ බණ පදයක් කියල දෙන්න. මම මේ මුළු රාජ්‍යයම දෙනවා” කිව්වා. ඒ දන්නෙත් නෑ. බලන්න…. බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන යන කාලේ තිබුණු මානසිකත්වය.
ඊට පස්සේ දහම්සොඬ රජතුමා ‘බුදුවරයෙකුගේ බණ පදයක්, බුදුවරයෙකුගේ වචනයක් අහන්න ලැබෙන්නේ නැති මේ ජීවිතය මොකටද? මම මේ ධර්මය හොයා ගෙන යනවා’ කියලා රජකම අත්හැරියා.
දහම්සොඬ රජතුමා රාජ්‍යය අත්හැරියේ බුද්ධ ශාසනයේ දේශිත සියලු ධර්මස්කන්ධය වෙනුවෙන් නොවෙයි… සූත්‍ර පිටකය වෙනුවෙන් නොවෙයි… ගම්භිර සූත්‍ර ධර්ම ඇතුළත් නිකායක් වෙනුවෙන් නොවෙයි… එක ම එක සූත්‍ර දේශනාවක් වෙනුවෙනුත් නොවෙයි… දහම්සොඬ රජතුමා රාජ්‍යය අත්හැරියේ එක ම එක බණ පදයක් වෙනුවෙන්… අහෝ සත්පුරුෂයන්ගේ අසිරිය…! සිත පහදවා ගනිත්වා!
අත්හැරලා වනගත වුණා. වනගත වෙලා දැන් ඔහේ යනවා. දිව්‍ය ලෝකයේ දෙවිවරු පරම්පරාවෙන් එක ගාථාවක් කට පාඩමෙන් අරගෙන ආවා. ශක්‍ර දෙවියෝ මේ ගාථාව දන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ මහා පුදුම මනුෂ්‍යයෙක් ඉපදිලා ඉන්නවා ශක්‍ර දෙවියන් දැක්කා. ‘බුදුවරයන් වහන්සේ නමකගේ වචනයක් හොයාගෙන සියල්ලම අත්හැරපු එක් කෙනෙක්…. ඊට පස්සේ ශක්‍ර දෙවියෝ ‘මෙයාගේ මේ ධර්මය සෙවීමේ අවංකකම මම පරීක්ෂා කරන්න ඕන’ කියලා කල්පනා කරලා මහ වනාන්තරය ඇතුළේ යක්ෂයෙකුගේ වේශයෙන් පෙනී සිටියා.
ඉතින් දහම්සොඬ රජ්ජුරුවන්ට මේ යක්ෂයාව මුණගැසුණා. ‘මං මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සොයා ගෙන යන්නේ’ කියලා කිව්වා. යකා ‘මං එක බණ පදයක් දන්නවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ගාථාවක් දන්නවා’ කිව්වා. ‘අනේ! එහෙනම් මට කියාදෙන්න’ කිව්වා. ‘මට කියා දෙන්න වෙලාවක් නෑ… මට බඩගිනියි’ කිව්වා. ‘එහෙම නම් මට ඔය ගාථාව කියා දීලා ඉවරවෙලා ඕනෙ නම් මාව කන්න’ කිව්වා. ‘එහෙම බෑ. මට එතකන් ඉන්න බැහැ. මට බඩගිනි වැඩියි’ කිව්වා. ඊට පස්සේ යකාම යෝජනාවක් කළා, ‘ඔබ අර ගල් කන්දට නගින්න. නැගලා පල්ලෙහාට පනින්න. ඒ පනින වෙලාවට මම ගාථාව කියන්නම්. ඒකත් අහගෙනම මගේ කටට පනින්න.’ රජ්ජුරුවෝ කැමති වුණා. (මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අතීතයේ ධර්මය සොයාගෙන ගියපු ආකාරයයි) ඉතින් කන්දට නැගලා පනින කොට ශක‍්‍රදෙවියන් දේව වේශයෙන් මෙයාව අල්ලගෙන වාඩි කරවලා ධර්මය කියා දුන්නා.
බලන්න, මේ ලෝකයේ එක් බණ පදයක්වත් නැති කාල තිබුණා. දැන් ඉතින් අපට ධර්මය අහන්න ලැබෙන කොට අපි ඒ ධර්මය හරියට මතක තියාගන්න ඕන. (සද්ධහති තථාගතස්ස බෝධිං) තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ‘ශ‍්‍රද්ධාව’ කියන්නේ. සමහර අවස්ථාවල ධර්මය ඉගෙන ගනිද්දී බැලූ බැල්මට නිකන් ලාභයක් නෑ වගේ පෙනෙයි. එතකොට උනන්දුවක් ඇති වෙන්නේ නෑ. නමුත් නුවණින් කල්පනා කරලා බැලුවොත්, ලාභය තියෙන්නේ මේකෙමයි. මේ ධර්මයේමයි ලාභය තියෙන්නේ. ලාභය තියෙන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමේමයි.
No comments