ලෝකයේ නුවණැත්තන් ප්‍රධානත්වය දෙන්නේ සිල් ගුණයෙන් යුතු අයටයි. මෙය එබඳු කතාවක්. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත් නුවර ජේතවනයේ. ඒ කාලයේ සැවැත්නුවර වාසය කළ එක්තරා බ්‍රාහ්මණයෙකුට දියණිවරු සතර දෙනෙක් සිටියා. ඒ දියණිවරු සතරදෙනා ම කසාද බදින්ට සතර දෙනෙක් ඉදිරිපත් වෙලා සිටියා. ඔවුන් අතර එක් කෙනෙක් ඉතා ම කඩවසම් රූපයකින් යුතු හොඳ ශරීර සම්පන්න අයෙක්. අනිත් කෙනා ටිකක් වයසක මහලු අයෙක්. අනිත් කෙනා උසස් කුලයක උපන්න කෙනෙක්. අනිත් කෙනා ඉතාම ආචාරශීලී සිල්වත් කෙනෙක්.
එතකොට බ්‍රාහ්මණයා මෙහෙම සිතුවා. 'මගේ දියණිවරු වෙනත් කෙනෙකුගේ නිවසක පදිංචි කරවනවා නම් මං කාට ද ඒ දරුවන්ව සරණපාවා දෙන්ට ඕනෑ? රූප සම්පන්න කෙනාටද ? එහෙම නැත්නම් මහලු කෙනාට ද? එහෙමත් නැත්නම් කුලවන්තයාටද? එහෙමත් නැත්නම් සිල්වත් තැනැත්තාටද? හප්පේ... මං කොහොමෙයි මේක විසඳා ගන්නේ.... හැබැයි... මේ කාරණේ නිසි විදිහට විසඳා දෙන්ට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් දන්නවා. උන්නාන්සේගෙන් දැනකියාගෙන මේ සතර දෙනාගෙන් ගැළපෙන කෙනාට මං සරණ මංගල්ලේ කොරලා දෙනවා. මෙහෙම සිතලා සුවඳමල් ආදිය රැගෙන භාග්‍යවතුන් බැහැදකින්ට විහාරයට ගියා. ගිහින් ශාස්තෘන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. ඊට පස්සේ තමන් සිතා සිටි කාරණාව භාග්‍යවතුන් වහන්සේට සැලකොට ඒ සතර දෙනාගෙන් කාට ද දියණිවරු දෙන්ට වටින්නේ කියලා ඇහුවා.
භාග්‍යවතුන් වහන්සේ, "බ්‍රාහ්මණය, ඔබ පෙර ආත්මෙකත් පණ්ඩිතයන්ගෙන් ඔය ප්‍රශ්නය ඔය විදිහට ම අසා තියෙනවා. දැන් භවයෙන් වැසී ගොස් ඇති නිසයි එය සලකාගන්ට අමාරු." කියා වදාළා. එතකොට බ්‍රාහ්මණයා ඒ භවයෙන් වැසී ගිය සිදුවීම කියා දෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා. "බ්‍රාහ්මණය, ගොඩාක් ඉස්සර කාලෙක බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන කාලේ මහා බෝධිසත්වයෝ බ්‍රාහ්මණ කුලේ ඉපදිලා වයස මුහුකුරා ගියාට පස්සේ තක්සිලාවට ගොහින් ශිල්ප ඉගෙනගෙන බරණැසට ඇවිත් දිසාපාමොක් ආචාර්යව කටයුතු කළා. ඒ කාලේ බරණැස බ්‍රාහ්මණයෙකුට දියණිවරුන් සතර දෙනෙක් සිටියා. ඔවුන් දීග දෙන කලවයසට පැමිණියා. ඒ දියණිවරුන් ලබාගැනීමේ අදහසින් රූපසම්පන්න කෙනෙකුයි, මහලු කෙනෙකුයි, කුලවතෙකුයි, සිල්වතෙකුයි යන සතර දෙනෙක් පැමිණියා. එතකොට බ්‍රාහ්මණයා තුළ කාට ද දරුවන් දෙන්නේ යන ගැටළුව මතු වුණා. ඔහු කෙළින් ම ගියේ දිසාපාමොක් ආචාරීන්ව සොයාගෙන යි. ගිහින් තමන්ගේ සිතේ ඇති කරුණ මතු කරමින් මේ ගාථාව පැවසුවා.
ගුරුතුමනී, මගෙ දූවරු සිව්දෙනා ව
- කරකාරෙට ගන්ට හිතන්
- සතර දෙනෙක් ඇවිත් ඉන්නවා
හොඳ හැඩරුව ඇති කෙනෙකුයි
- වයසට ගිය තව කෙනෙකුයි ඇවිත් ඉන්නවා
උසස් කුලේ ඉපදී ඇති තව කෙනෙකුයි
- සිල්වතෙකුයි ඇවිත් ඉන්නවා
මේ අයගෙන් කා හට දැයි දූවරු දෙන්නට ඕනෑ
- එය කීවොත් පින් සිදුවෙනවා
මේ ප්‍රශ්නය අසා දිසාපාමොක් ආචාර්යතුමා මෙහෙම කල්පනා කළා. 'රූප සම්පත් තියෙන අය රූපයෙන් මත් වෙලා දුස්සීල වන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. නමුත් සිල්වතා නම් කොයි කාලෙටත් හොඳයි. හැමෝට ම සැනසීමේ ඉන්ට පුළුවන් වේවි. ඒ නිසා අපගේ කැමැත්ත සිල්වතාටයි' කියා මේ ගාථාවෙන් බ්‍රාහ්මණයාට පිළිතුරු දුන්නා.
රූපය ලස්සන කෙනාට හොඳ
සිරුරක් තියෙන නිසා
- එය නම් මම නැතැයි නොකියමි
වයසට ගිය මහලු කෙනා ගරු කළ යුතු කෙනෙක් නිසා
- එයට ද මම දොසක් නොකියමි
උසස් කුලේ උපන් කෙනා ඉන්
යහපත ලබන නිසා
- එයටත් මම හොඳ යයි කියමි
සිල්වත් වූ කෙනා සියලු කරුණෙදී ම
ඕන නිසා
- ඔහුට යි මා කැමැති කියා පවසමි
දිසාපාමොක් ආචාරීන්ගේ අදහසට අනුව සිල්වත් කෙනා හැම අවස්ථාවේ දී ප්‍රයෝජනවත් වෙන බව බ්‍රාහ්මණයා තේරුම් ගත්තා. බ්‍රාහ්මණයාට හරි සතුටුයි. ඉතින් ඔහු ගිහින් තමන්ගේ දූවරුන් සතර දෙනා සිල්වතාට ම සරණ පාවා දුන්නා.” මෙසේ අතීත විස්තරය වදාළ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාළා. ඒ දේශනාවේ කෙළවර බ්‍රාහ්මණයා උතුම් සෝවාන් ඵලයට පත් වුණා. දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ සිදුවීම ගැන කතාකරමින් සිටියා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ අතීත කතාව ගැන මෙසේ වදාළා.
"මහණෙනි, එදා බ්‍රාහ්මණයා වෙලා සිටියේ ඔය බ්‍රාහ්මණයා යි. දිසාපාමොක් ආචාරීන්ව සිටියේ මම යි.” කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතක කතාව නිමවා වදාළා.
අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
No comments