මීට පෙර බුදු සසුනක සොහොයුරන් දෙදෙනෙක් එක්ව කුඹුරක් කළහ. ශ්‍රද්ධාවෙන් ඉස්සර වූ එක සොහොයුරෙක් ගොයම් පූදින කාලයේ සිටම නව වතාවක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට අග්ගස්සිදානය පූජා කළේ ය. මුලින් අකමැති වූ අනෙක් සොහොයුරා, දෙදෙනාගේ කුඹුර දෙකොටසකට බෙදා ගත්තේ ය. අග්ගස්ස දානය දුන් සොහොයුරා අග්‍ර ම කොටස දන් දී, මුල්ම කොටස දන් දී, ‘බුදු සසුනක ඉස්සෙල්ලාම දහම දකින ශ්‍රාවකයා වෙන්න ලැබේවා!’ කියා පැතුවේ ය. පැතුම කෙසේ වෙතත් ඔහුගේ ක්‍රියාව, චේතනාව නිසා ඔහු ඉස්සර විය. ඒ ගෞතම බුදු සසුනේ පළමු ශ්‍රාවකයා වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤයන් වහන්සේ ය.
අනෙක් සොහොයුරා හැමදේම පස්සට දැම්මේ ය. දානෙන් පස්සට ගියේ ය. බණ අහන්න ගිය ද “හරි. ඔයාලා ඉස්සරවෙලා යන්න. මං වෙන දවසක එන්නම්. මං පස්සේ එන්නම්.” කිය කියා පස්සට ම ගියේ ය. අන්තිම ජීවිතෙත් ඔහු පස්සටම ගියේ ය. බුදුරජාණන් වහන්සේ දකින්න ආසා හිතෙයි, “මං පස්සේ යනවා” කියා අවුරුදු හතලිස් පහක්ම පස්සට ගියේ ය. හිස ගිනි ගත් කෙනෙක් වගේ ඔහු දුවගෙන ආවේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිය දී ය. සුභද්‍ර පරිබ්‍රාජකයා හට උතුම් ධර්මාවබෝධය සඳහා පෙර කළ පින් ඇති බව දුටු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ‘ආනන්දයෙනි, සුභද්‍ර වළක්වන්නට එපා! සුභද්‍රට තථාගතන් වහන්සේ බැහැ දකින්න අවස්ථාව දෙන්න. සුභද්‍රයන් මගෙන් ප්‍රශ්න විමසන්නේ මාව වෙහෙසට පත්කරන්න සිතාගෙන නොවේ. අවබෝධ කිරීමේ අදහසින්මයි. ඔහුගේ ප්‍රශ්නයට මා දෙන පිළිතුර ඔහු ඉක්මණින්ම තේරුම් ගන්නවායැයි වදාළා.
සුභද්‍ර පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේ සමඟ පිළිසදර කතාබහේ යෙදී එකත්පස්ව වාඩිවුණා. එවෙලාවේ සුභද්‍ර පරිබ්‍රාජකයා බොහෝ කලක් තිස්සේ තම සිතෙහි තිබුණ ප්‍රශ්නය උන්හන්සේගෙන් විමසා සිටියා. ‘භවත් ගෞතමයන් වහන්ස, බොහෝ ශ්‍රාවක පිරිස් ඉන්න, බොහෝ ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූ මේ ජම්බුද්වීපය පුරා ඉතා ප්‍රසිද්ධියට පත්වුණු බොහෝ ජනයා විසින් යහපත් යැයි පිළිගත් නොයෙක් ආගමික මත පවසන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේශකම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨපුත්ත, නිගණ්ඨනාථපුත්ත යන අය. ඔවුන් සියලු දෙනාම තමන් ප්‍රතිඥා දෙන පරිදි අවබෝධ කරගෙනද ඉන්නේ? නැතිනම් ඔවුන් සියලු දෙනාටම කිසිදු අවබෝධයක් නැත්ද? එහෙමත් නැතිනම් ඔවුන්ගෙන් ඇතැම් කෙනෙක් අවබෝධ කරගෙන ඇතැම් කෙනෙක් අවබෝධ නො කරගෙනද ඉන්නේ?
ඉහත නම් සඳහන් ශාස්තෘවරු සයදෙනා බුද්ධ කාලීන සාමජය තුළ බොහෝ ප්‍රසිද්ධ කිර්තිමත් අයයි. මොවුන්ගෙන් සමහර අය අතිශය භයානක ආගමික මත දරුවා. ඔවුන්ගේ ආගමික මත සත්‍යයයි කියා පිළිගත් විශාල ජනතාවක් එකල සිටියා. නමුත් සුභද්‍ර පරිබ්‍රාජකයාගේ මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ එක එල්ලේ පිළිතුරක් දුන්නේ නැහැ. උන්වහන්සේ සුභද්‍ර‍්‍රට මෙසේ වදාළා. ‘සුභද්‍රය ඔය ප්‍රශ්නය අතහැරලා දාන්න මම ඔබට ධර්මය දේශනා කරන්නම්. එයට සවන් දෙන්න. තේරුම් ගන්න මහන්සි ගන්න.
‘සුභද්‍රයෙනි, යම් ධර්ම විනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්ද, එහි පළමු වැනි ශ්‍රමණයාත් නැත. එහි දෙවන ශ්‍රමණයාත් නැත. එහි තුන්වෙනි ශ්‍රමණයාත් නැත. එහි සතරවන ශ්‍රමණයාත් නැත. සුභද්‍රයෙනි, යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබේද එහි පළමුවෙනි ශ්‍රමණයාද ඇත. එහි දෙවන ශ්‍රමණයාද, තුන්වෙනි ශ්‍රමණයාද ඇත. එහි සතරවන ශ්‍රමණයාද ඇත.’
බුදුරජාණන් වහන්සේ විසින් මෙහිදී පළමු වෙනි ශ්‍රමණයා ලෙස හැඳින්වූයේ සතර අපායෙන් සදහටම නිදහස් වුණ ආත්මභාව හතක් ඇතුළත නිවන් අවබෝධ කරන සෝතාපන්න ශ්‍රාවකයා යි. දෙවෙනි ශ්‍රමණයා ලෙස හැඳින්වූයේ නැවත එකවරක් මේ කාම ලෝකයට පැමිණ සියලු දුක් අවසන් කරන සකදාගාමි ශ්‍රාවකයා යි. තුන්වෙනි ශ්‍රමණයා ලෙස හැඳින්වූයේ කාම ලෝකයට බැඳ තබන සියලු සංයෝජන ක්ෂය කළ මරණින් මතු සුද්ධාවාස බඹලොවෙහි උපත ලබා එහිම පිරිනිවන් පාන අනාගාමි ශ්‍රාවකයා යි. සතරවන ශ්‍රමණයා ලෙස හැඳින්වූයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ කළ කෙලෙස් බර බහා තිබූ සියලු සංයෝජන ක්ෂය කළ සියලු දුක් අවසන් කළ රහතන් වහන්සේ ය.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. ‘සුභද්‍රයෙනි, මාගේ මේ ධර්ම විනයෙහි (ශාසනයෙහි) ආර්ය අෂ්ඨාංගික මාර්ගය තිබේ. එනිසා මෙහි පළමු වෙනි ශ්‍රමණයාත් ඇත. මෙහි දෙවන ශ්‍රමණයාත්, තුන්වන ශ්‍රමණයාත් ඇත. මෙහි සතරවන ශ්‍රමණයාත් ඇත. අන්‍ය ඇදහීම් සියල්ල මේ සිව් වැදෑරුම් ශ්‍රමණයන්ගෙන් හිස්ය. සුභද්‍රයෙනි, මේ භික්ෂූන් යහපත්ව පිළිවෙතෙහි යෙදෙනවානම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවේ. භාග්‍යවතුන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා හට මේ ගාථාවන්ද වදාළා.
ඒකූනනිංසෝ වයසා සුභද්ද
යං පබ්බජිං කිං කුසලානුඒසි
වස්සානි පඤ්ඤාස සමාධිකාති
යතෝ අහං පබ්බජිතෝ සුභද්ද
‘සුභද්‍රයෙනි, වයසින් විසිවන තැනෙහි දී කුසල් යනු කුමක්දැයි සොයමින් පැවිදි වූයෙමි. යම් කලක මම පැවිදි වූයෙම්ද, එදා සිට මේ දක්වා පණස් වසරකට වැඩි කලක් ගෙවුණේ ය.
ඤායසිස ධම්මස්ස පදේසවන්ති
ඉතෝ බහිද්ධා සමණෝපි නත්ථි
දුතියෝපි සමණෝ නත්ථි
තතියෝපි සමණෝ නත්ථි
චතුත්ථෝපි සමණෝ තත්ථි
සුඤ්ඤා පරජ්පවාදා සමණෝහි අඤ්ඤේ
චතුරාර්ය සත්‍ය ධර්මයෙහි කොටසක්වත් අවබෝධ කළ ශ්‍රමණයෙක් ඒ බුදු සසුනෙන් බැහැරව නැත්තේ ය.’ එහෙයින්් මෙයින් බැහැර පළමු ශ්‍රමණයාත් නැත්තේය. දෙවැනි ශ්‍රමණයාත් නැත්තේය. තෙවැනි ශ්‍රමණයාත් නැත්තේය. සිව්වෙනි ශ්‍රමණයාත් නැත්තේ ය. අන්‍ය ඇදහීම් සියල්ල මේ සිව් වැදෑරුම් ශ්‍ර‍්‍රමණයන්ගෙන් හිස්ය.
ඉමේ ච සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං
අසුඤ්ඤෝ ලෝකෝ අරහත්තේහි ති
සුභද්‍රයෙනි, මේ භික්ෂූන් මනාකොට පිළිවෙතෙහි යෙදී වසත්නම් ලොව රහතුන්ගෙන් හිස් නො වන්නේ ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය අසා අතිශයින්ම සතුටට පත් වූ සුභද්‍ර පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා. ‘ස්වාමිනි ඉතා මනහරයි. ස්වාමිනි, ඉතා මනහරයි. ස්වාමිනි යටට හරවා තිබු දෙයක් උඩට හරවන්නේ යම් සේද, වැසුණු දෙයක් විවර කරන්නේ යම් සේද, මං මුලා වූූවෙකුට හරිමඟ පවසන්නේ යම් සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේද, ඒ අයුරින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශ කළා. ස්වාමිනි මම භ්‍යාවතුන් වහන්සේව සරණ යනවා, ධර්මයත්, භික්ෂු සංඝයාත් සරණ යනවා.
ඉන් අනතුරුව ඔහු බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ පැවසුවා. ‘සුභද්‍රයෙනි, යම් කෙනෙක් කලින් අන්‍ය තීර්ථයෙකුව සිට මේ ශාසනයෙහි පැවිදි උපසම්පදාව ලැබීමට කැමැති වෙනවානම් ඔහු මාස හතරක පරිවාස කාලයක් සිටිය යුතුයි. ඒ මාස හතර ඇවෑමෙන් සතුටට පත් සිත් ඇති භික්ෂූන් භික්ෂු භාවය පිණිස ඔහුට පැවිදි උපසම්දාව ලබා දෙනවා’.
සුභද්‍රගේ සිත තුළ බුදුරජාණන් වහ්න්සේගේ ශ්‍රාවක භික්ෂුවක් වීමට මොනතරම් බලවත් ආශාවක් ඇතිවුණාද කියනවානම් ඔහු බුදුරජාණන් වහන්සේට මෙසේ කියා සිටියා. ‘අනේ ස්වාමිනි, මේ ශාසනයෙහි පැවිදි උපසම්පදාව ලැබීමට කැමැති කලින් අන්‍ය තිර්ථකයෙකුව සිටි කෙනෙක් මාස හතරක පරිවාස කාලයක් සිටිය යුතුනම් ඒ මාස හතර ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂුන් ඔහුව භික්ෂුවක් ලෙස පැවිදි උපසම්පදා කරයිනම් මම අවුරුදු හතරක් වුවත් පිලිවෙත් වසන්නම්. ඒ අවුරුදු හතර ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූන් මාව පැවිදි කරත්වා! භික්ෂුභාවය පිණිස උපසම්පදා කරත්වා!”
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සුභද්‍රව පැවිදි කරන ලෙස ආනන්ද තෙරුන්ට වදාළා. ඉන් අනතුරුව සුභද්‍ර පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි උපසම්පදාව ලැබුවා. පෙර කළ පින් ඇති ඒ භික්ෂුව පිරිසෙන් වෙන්වෙලා හුදකලා වුණා. කෙලෙස් තවන වීරියෙන් අප්‍රමාදීව දහමේ හැසිරුනා. යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙනවාද, ඒ බඹසරෙහි නිමාව වන අනුත්තර වූ අරහත්වය සුළු වෙලාවකින් සාක්ෂාත් කළා. සුභද්‍ර තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේම අරහත්වයට පත්වුණු ජීවමානව වැඩ සිටි අපගේ බුදුරජාණන් වහ්නසේගේ අවසන් අරහත් ශ්‍රාවක භික්ෂුව වන ඒ සුභද්‍ර මහ රහතන් වහන්සේට අපගේ උත්තම ශීර්ෂ නමස්කාරය වේවා!
No comments