පුණ්ණ සිටුතුමා ජීවත් වූයේ රජගහනුවර යි. ඔහුගේ බිරිඳ උත්තරා. ඔවුන්ට උත්තරා නමින් ම දියණියක් ද සිටියා. මේ සියලු දෙනා තෙරුවන් සරණ ගොස් මාර්ගඵල ලබා ජීවත් වූ පවුලක්. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේට නිතර ම දානමාන දීමත්, දහම් ඇසීමත් විවිධ පින්කම් කිරීමත් ඔවුන්ගේ දින චර්යාවේ කොටසක් බවට පත්ව තිබුණා.
පසු කලෙක දී රජගහ නුවර එක් සිටුවරයකුගේ පුතෙක්, පුණ්ණ සිටුවරයාගේ උත්තරා දියණියට විවාහ යෝජනාවක් ගෙන ආවා. එහෙත් ඒ පවුල ඉතා මිථ්‍යාදෘෂ්ටික නිසා සිටුතුමා එයට එකඟ වූයේ නැහැ.
“සිටුතුමනි, මගේ උත්තරා දියණිය ත්‍රිවිධ රත්නයේ සරණ ගිය දුවක්. ඔබගේ පුතා එසේ නොවේ. එනිසා ඔවුන් ගැළපෙන්නේ නැහැ”යි පුණ්ණ සිටුවරයා කියා සිටියා. එහෙත් බලවත් ඉල්ලීම මත පුණ්ණ සිටුතුමා තම දියණිය ඒ මිථ්‍යාදෘෂ්ටික පවුලේ පුතුට විවාහ කර දුන්නා.
උත්තරා ඉතාමත් පති භක්තියෙන් යුතු වූවා. තම ස්වාමියාටත්, ඔහුගේ පවුලේ අයටත් ඉතා හොඳීන් සැලකිලි කළා. නමුත් ඒ දියණියට සිය ස්වාමියාගේ නිවසට ගිය දා පටන් භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් දකින්නට ලැබුණේ නැහැ. දන් දීමක් නෑ දහම් කතාවක් අසන්නට ලැබුණෙත් නැහැ. වස් කාලය එළඹ මාස තුනෙන් මාස දෙකහමාරක් අවසන් වුණා. තවත් ඉතිරිව තිබුණේ මාස භාගයක් පමණ යි. උත්තරාට මේ කටුක ජීවිතේ ඉතාමත් නීරස වුණා.
“පියාණෙනි, මේ පවුලේ උදවිය ඉතාමත් මිත්‍යාදෘෂ්ටික යි. මම මෙහි ආ දින සිට දන්දීමක් හෝ දහම් කතාවක් නො ලැබුවෙමි. අඩු ගණනේ භික්ෂුන් වහන්සේ නමක් හෝ දැක ගන්නට පවා නො ලැබුවෙමි” යි පියාට දන්වා යැව්වා.
ඒ බව දැනගත් පුණ්ණ සිටුවරයා මහත් ශෝකයට පත්වුණා.
“දියණිය, ඔබ වෙසෙන නගරයේ සිරිමා නමින් නගරශෝභනියක් ජීවත් වෙනවා. ඇය ගෙන්වා ඔබේ ස්වාමියාගේ උපස්ථානයට භාර කර මේ අඩ මස ඔබ සිත් සේ පින්දහම් කර ගන්නැයි “ දන්වා මුදල් සමඟ පණිවිඩයක් යැවුවා.
එය දුටු උත්තරා අතිශයින් ම සතුටට පත්වුණා. ඇය වහාම සිරිමා සොයා ගොස් තම මාලිගයට ගෙන්වා ගත්තා.
“හිමියනි, මේ යෙහෙළිය ඔබට ඇප උපස්ථාන කරාවි. බොහෝම ගෞරවයෙන් සියලු කටයුතු සොයා බලාවි. මේ අඩ මස මම දහම් ඇසීමටත්, දන් දෙන්නටත් කැමැත්තෙන් සිටිමි”. යි තම ස්වාමියාට කියා සිටියා. ඔහු එයට එකඟ වීම නිසා මහත් සතුටට පත් උත්තරා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණියා.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ අඩ මස මෙහිම රැ¼දී සිටිනු මැනව“ ආරාධනා කර මහත් සතුටින් යුතුව බුද්ධෝපස්ථාන කරගත්තා.
දිනක් උත්තරාගේ ස්වාමියා කවුළුව අසලට පැමිණ තම බිරිඳ කුමක් කරනවා දෝ කියා බැලුවා. ඇය මහන්සියෙන් දානය පිළියෙළ කරන අයුරු දැක “අහෝ මෝඩ තැනැත්තිය, බොහෝ සැප සම්පත් තිබියදීත් මහණුන් උදෙසා මෙතරම් වෙහෙස වන්නේ මන්දැයි” සිතා සිනහ පහළ කළා.
ඔහු සිනහ වුණේ කා සමඟදැයි සිරිමා බැලුවා. ඇය දුටුවා උත්තරා පහළ සිටිනවා. සිරිමාගේ සිතේ ඊර්ෂ්‍යාවක් හට ගත්තා. “මේ සියලු සැප සම්පත් මට ලබා ගන්නට නම් මේ උත්තරා විනාශ කළ යුතුයි” සිරිමා සිතුවා. වහා මුළුතැන්ගෙට ගොස් උතුරන තෙල් වළඳෙන් තෙල් ගෙන උත්තරා ඉදිරියට ගියා. එය දුටු උත්තරා සිරිමාගේ ගුණ සිහි කළා.
“මැය මට කළ උපකාරය කො තරම් වටිනවා ද? මැය නිසයි මට භාග්‍යවතුන් වහන්සේට දන් පූජා කර ගන්නට ලැබෙන්නේ. මහානිශංස පින් කර ගන්නට ලැබෙන්නේ. ඇය මට සහෝදරියක් වූවා. සිරිමා කෙරෙහි මගේ සිතේ කිසිදු වෛරයක් නො මැති නම්, මේ උණු තෙල් සිසිල් ජලය වේවායි” අධිෂ්ඨානයක් කළා. හිස මත වත්කළ ඒ තෙල් සිසිල් වූවා. එය දුටු එක් සේවිකාවක් “නුඹ අපේ ස්වාමි දියණියට උණු තෙල් වත්කළා නේදැයි” අසමින් පහර පිට පහර දෙන්නට වුණා. සිරිමාව එයින් බේරාගත් උත්තරා ඇයට උපස්ථාන කළා.
“පින්වත් උත්තරා ආර්යාවෙනි, මට සමාව දෙන්න” සිරිමා කියා සිටියා
“සිරිමා, මා පියකු සිටින දියණියකි. පියාගෙන් සමාව ගතහොත් මම ද සමාව දෙමි”.
“ආර්යාවෙනි, මම පුණ්ණ සිටුතුමා හමු වී සමාව ගන්නෙමි”
“සිරිමා, පුණ්ණ යනු මට උපත දුන් පියා යි. මා හට සසරින් නිදහස් වීමට උපත දුන් පියාගෙන් නුඹ සමාව ගත යුතුයි”.
“ස්වාමි දියණිය, සසර දුකෙන් නිදහස් වීමට උපත දුන් පියා කවුරු ද?”
“ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි.”
“අනේ ආර්යාවෙනි, මම කිසිදිනෙක උන්වහන්සේ දැකනැහැ. ඉන්න තැනක් දන්නෙත් නැහැ.”
“සිරිමා හෙට දිනයේ උන්වහන්සේ සංඝයා වහන්සේත් සමඟ මෙහි වඩිනු ඇත. නුඹ එවිට සමාව ගත යුතුයි”. උත්තරා කියා සිටියා.
පසුදින භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය උත්තරාගේ නිවසට වැඩම කළා. ඒ වෙලාවේ සිරිමා, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටී “ස්වාමිනි, උත්තරා දේවියට මගෙන් වරදක් වූවා. ඒ සඳහා ඔබ වහන්සේගෙන් සමාව ගන්නා ලෙස ඇය කියා සිටියා” කියමින් සියලු පුවත් භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා.
එය ඇසූ භාග්‍යවතුන් වහන්සේ,
“පින්වත් උත්තරා, ඔබ ක්‍රෝධය ජයගත් ආකාරය ඉතාමත් ඉහළ යි. ක්‍රෝධ කරන්නවුන්ට අක්‍රෝධ කිරීමෙන් ඔබට ලැබුණේ ජයක්ම යි.” කියා ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ උත්තරා සකෘදාගාමි වූවා.
ස්වාමියාගේ පවුලේ සියලු ම දෙනාත්, සිරිමාත් සෝවාන් ඵලයට පත්වුණා. කාලයකට පසු මරණයට පත් වූ උත්තරා තව්තිසා දෙව්ලොව උපත ලැබුවා.
දිනක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙව්ලොව සංචාරය කරද් දී උත්තරා දෙව්දුවගේ දිව්‍ය විමානය දුටුවා.
“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබළෙමින් ඉන්නේ හැම දිශාවම බබළවන මහා තාරකාවක් වගේ. ඇත්තටම ඔබට මේ වගේ ලස්සනක් ලැබුණේ මොන වගේ පිනකින් ද?
“ස්වාමිනි. මම ගිහිගෙදර ජීවිතය ගත කරද්දී කාටවත් ඉරිසියා කරලා නැහැ. මා සතු දෙයින් තව කෙනෙක් සැප විඳීනවාට ඇති අකමැත්ත කියන මසුරුකම මා තුළ තිබුණේ නැහැ. මම එකට එක කළේත් නැහැ. ස්වාමියාට කීකරුවයි සිටියේ. මම සෑම දෙයට ම වඩා මුල්තැන දුන්නේ උපෝසථය රකින්නට යි. හැම සතර පෝයටම මම උපෝසථය රැක්කා. සිල්පද සමාදන් වුණා. ඉඳුරන් සංවර කර ගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා.”
“ස්වාමීනි මම සිල්පද රැක්කේ කැමැත්තෙන්ම යි. මම චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් කර ගත්තා. ස්වාමිනි, මේ මම අනුභව කරන්නේ මගේ පින යි. මම ඉන්නේ සැපසේම යි. ඒ පිනට තමයි මෙවැනි රූපයක් මට ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන සැප සම්පත් සියල්ලම ලැබුණේ එනිසාම යි.”
“ස්වාමීනි, මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන්න. උත්තරා උපාසිකාව ඔබ වහන්සේගේ උතුම් සිරිපා කමල වන්දනා කරනවා කියා කියන්න. මම මනුස්ස ලෝකයේ ලැබුණ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගත් කෙනෙක් බව උන්වහන්සේ දන්නවා.” උත්තරා දෙව්දුව මුගලන් මහරහතන් වහන්සේට කියා සිටියා.
- නයනා නිල්මිණී
No comments