ඉසිදාසි රහත් තෙරණියගේ සසර

Share:

 වැරදි කාම සේවනයේ ආදීනව දක්වන හොඳ සිදුවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ‘ඉසිදාසි’ කියලා තැනැත්තියක් හිටියා. ‘ඉසිදාසි’ හරි ලස්සන රූපයක් තිබුණු ගැහැණු ළමයෙක්. මෙයාව බොහෝම වැදගත් පවුලක මහත්තයෙකුට, ලොකු දෑවැද්දක් එක්ක විවාහ කරලා දුන්නා. දැන් මේ ඉසිදාසි අලුත් ගෙදරට ගිහිල්ලා, ඒ නැන්දට මාමට වැඳගෙන, ස්වාමියාට ගරු සරු දක්වාගෙන දාසියක් වගේ ඉන්නවා. ටික කාලයයි ගියේ හේතුවක් නෑ, පවුල් අවුල්.

ඊට පස්සේ අර ස්වාමියා තමන්ගේ අම්මට කියනවා, “අම්මේ මට මේ ගෑණිත් එක්ක පවුල් කන්න බෑ. මෙයාව වහාම ආපහු ගෙදරට ඇරලවන්න.”

“පුතේ, මේ අපේ ගෙදරට ආපු ශ‍්‍රියා කාන්තාව. බලාපන් ඔබට කොච්චර ආදරේද? මේ ගෙදර ඔක්කෝටම කොච්චර හිතවත්ද? හොයලා බලලා කටයුතු කරනවා. මොකක්ද වැරැද්ද?”

“කතා කරන්න එපා මාත් එක්ක. අම්මේ, මට මෙයාව අප්පිරියයි, එක්කගෙන යන්න.”

බලන්න මේ වෙන්නේ අපට පේන්නේ නැති පැත්තක්. ඔන්න ඉතින් “අනේ ගෙදරට ආපු ශ‍්‍රියා කාන්තාව, අපේ ළමයා එළවගත්තා ” කියලා ආපහු ගිහිල්ලා ගෙදරට ඇරලුවා. ඔන්න දැන් පවුල කැඩුණා.

මේ ගෙදර කට්ටියට ඉන්න එකම ළමයා. ඉතින් ඊට වඩා භාගයකට දෑවැද්ද හරි ගස්සාගෙන දෙවැනි විවාහයක් කරදුන්නා. ටික කාලයක් ගියා. එතැන වුණෙත් ඒකමයි. “මට මේ ගෑණිත් එක්ක පවුල් කන්න බෑ” කියලා ආපහු එක්කන් ඇවිදින් ගෙදරට භාරදුන්නා.

“අනේ තාත්තේ, මට නම් ආයේ ඔය කසාද මතක් කරන්න එපා! මං මෙහෙම ඉන්නම්.” ඉතින් දෙමව්පියෝ දහඅතේ කල්පනා කළා, ‘මෙහෙම ඉඳලත් බෑනේ…. අපි නැතිවුණාට පස්සේ මෙයාට මොනවා වෙයිද කියලා කවුද දන්නේ. ආරක්ෂාවට කවුරු හරි පිරිමියෙක් ඕනනේ.’

එක තරුණයෙක් හිටියා, එයා හිඟන්නෙක්. මේ හිඟන්නා පොල් කට්ටක් අරගෙන, කඩමලු ඇඳගෙන පාරේ ගියා.

“ළමයා මෙහෙ එනවා… උඹ කැමතිද හොඳට කාලා බීලා, මේ වතුපිටි බලාගෙන පවුලක් වෙලා ඉන්න?”

“කැමතියි.”

“එහෙනම් අපේ ගෙදර නැවතියන්. මේ වතුපිටි ඔක්කෝම උඹට භාරයි. අපේ දුවක් ඉන්නවා. බලා හදාගෙන හිටපන්.”

ඉතින් මේ හිඟන තරුණයා එක පයින්ම කැමති වුණා. එයත් ටික කාලයක් ගිහිල්ලා මාමට ඇවිල්ලා කියනවා, “මාමණ්ඩියේ, කෝ අර පොල්කට්ට? අර කඩමලු ටික කෝ? මට ඒ හිඟාකෑම හොඳයි.” එහෙම කියලා යන්න ගියා.

ඉසිදාසි දිවි නසා ගන්න හැදුවා. ගෙදර කට්ටිය බේරගත්තා. දවසක් රහත් භික්ෂුණීන් වහන්සේ නමක් ඔය නිවසට දානෙට වැඩියා. ඒ වෙලාවේ ඉසිදාසියටත් පැවිදි වෙන්න හිත නැමුණා. “අම්මේ, මට නම් මේක කරන්න බෑ. මගේ පාපය මම ම දිරව ගන්නම්. මේක වෙන කවුරුවත් දිරවන එකක් නෙවෙයි, මම ම මේක විඳවා ගන්නම්” කියලා පැවිදි වුණා. පැවිදි වෙලා, ටික කාලයකින් රහත් භික්ෂුණියක් බවට පත්වුණා.

පස්සේ දවසක අර රහත් භික්ෂුණිය අහනවා, “ඉසිදාසි, ඔබ හැබෑම රූප සුන්දරත්වයක් තියෙන කෙනෙක්. පුදුම විදිහට ඔබේ පවුල් ජීවිතය කඩාකප්පල් වුණා. ඒකට හේතුව මොකක්ද?” “පින්වත් භික්ෂුණීය, මං මේක බැලුවා. (දැන් එයාට ‘පුබ්බේනිවාසානුස්සති ඤාණය’ පෙර විසූ ජීවිත දකිනා නුවණ තියෙනවානේ) මම මීට ආත්ම හතකට කලින් පිරිමියෙක්. හොඳට ඇඟපත හයිය තිබුණු, සල්ලි බාගෙ තිබුණු පිරිමියෙක්. මම සල්ලි තිබුණ නිසා වල්කම් කළා.”

එහෙනම් මෙයා කරලා තියෙන්නේ (කාමේසු මිච්ඡාචාරා) වැරදි කාම සේවනයේ යෙදීම. අදත් එහෙම පිරිමි ඉන්නවනේ. රූපය ලස්සනට තියෙනවා නම්, සල්ලිත් තියෙනවා නම් පස්සෙන් එන අයත් ඕනතරම් ඉන්නවනේ. ඉතින් මේකට අහුවුණා. මේකෙදී වෙන්නේ අකුසල් වැඩීම, කුසල් පිරිහීම.

ඉතින් මෙයා ඒ පිරිමි ආත්මයෙන් චුතවෙලා කෙලින්ම නිරයේ ගියා. නිරයේ දුක් විඳලා.. දුක් විඳලා.. ඔන්න තිරිසන් අපායේ වඳුරු පැටියෙක් වෙලා ඉපදුණා. වඳුරු පැටියෙක් වෙලා ඉපදිලා ඉද්දී පොඩි කාලයේදීම මහ වඳුරෙක් ඇවිල්ලා ඒ වඳුරු පැටියගේ පුරුෂ නිමිත්ත ඇදලා කැඩුවා. ඉතින් ඒ තුවාලය වණ වෙලා, පණුවෝ ගහලා මැරුණා. ඊට පස්සේ හරක් පැටියෙක් වෙලා ඉපදුණා. අදටත් බර උහුලන්න පුළුවන් වෙන්න හරකගේ කෝෂ තලනවනේ. මං අහලා තියෙනවා, ඒ වෙලාවට හරකගේ අත් කකුල් බැඳලා, ඌ යටිගිරියෙන් කෑ ගහද්දි ලීවලින් තදකරලා.. තදකරලා… තදකරලා…. සම්පූර්ණයෙන් අර කෝෂ තලනවලු. ඉතින් මෙයාගෙත් මෙහෙම තලද්දී තුවාල වුණා. ඔන්න ආයෙමත් එතැන කුණු වෙන්න පටන් ගත්තා. සැරව පිරෙන්න ගත්තා. පණුවෝ ගැහැව්වා. ඒ අසනීපයෙන්ම මළා. අදටත් සත්තු එහෙම මැරෙනවා.

ඒකෙන් චුතවෙලා, ඔන්න ඊට පස්සේ එළුවෙක් වෙලා උපන්නා. ඒ කාලේ එළුවන්ගෙත් කෝෂ තලනවා. ඒකම වුණා. බලන්න, වැරදි කාම සේවනයක් කරන්න ගිහිල්ලා, කොච්චර කාලයක් විඳවනවද? “කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ” කියන්නේ ඒකයි.

මෙයා එතැනිනුන් චුත වුණා. චුත වෙලා පරම්පරාගත දාසියකගේ කුසේ උපන්නා. සතර අපායේ වින්ඳ යුතු කර්ම විපාක ගෙවිලා දාසියකගේ කුසේ උපන්නට පස්සේ මේ පරම්පරා අයිතිකාරයෝ බලහත්කාරයෙන් මෙයාව අරගෙන ගිහිල්ලා බිරිඳ වශයෙන් තියාගත්තා. ඊට පස්සේ ඉතින් එතැන කරලා තියෙන්නෙත් ඉරිසියාව, පවුල් කඩාකප්පල් කිරීම ආදී දේවල් තමයි. ඒ කර්ම විපාක දෙකම එකතුවෙලයි මේ ජීවිතය අසාර්ථක වුණේ.

No comments