සෝණ මහරහත් තෙරණියගේ ජීවිත කතාව

Share:
අප ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේ ලොව පහළවන්නට පෙරාතුව කල්ප සියක් දහසකට පෙර දීපංකර සම්මා සම්බුදුපියාණන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක. එකල සෝණ තෙරණියෝ මහත් සැපයෙන් ආඪ්‍ය වූ දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වූ කල සිටු මාළිගාවක සිටු කුමරියක වී උපත ලැබුවා ය. බුදුපියාණන් වහන්සේගෙන් සුමිහිරි දහම් ඇසුවා ය.

එහි දී දීපංකර බුදුරජාණන් වහන්සේ වීර්යය අත්නොහළ, වීර්යය ඇති භික්ෂුණීන්ගෙන් අගතැනට එක් භික්ෂුණියක පත් කරනු දැක ඇය ද එදින එම තනතුර ප්‍රාර්ථනා කළා ය. දීපංකර බුදුරජාණන් වහන්සේ එම ප්‍රාර්ථනාව සමෘද්ධ වනු දැක ගෞතම සම්බුදු සසුනේ සෝණ නමින් ශ්‍රාවිකාවක් වන බව පෙන්වා වදාළ සේක. එය අසා අතිශය සතුටට පැමිණ ජීවිතාන්තය දක්වා ම මහත් වූ ශ්‍රද්ධාව පෙරටු කොටගෙන මෛත්‍රී සිතින් යුක්ත ව බුදුරජාණන් වහන්සේට දිවිහිමියෙන් සිව්පසයෙන් උපස්ථාන කළා ය. කරන ලද මහත් වූ පින් ඇත්තී මනුලොව අතැර තව්තිසා දිව්ලොවෙහි අනන්ත සැප වින්දනය කළා ය. මෙසේ කල්ප සිය දහසක් දෙව් මිනිස් දෙගතියෙහි උපත ලද්දී ය.

අනතුරු ව අප ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ශ්‍රාවස්ති නම් සශි‍්‍රක පුරයෙහි ධනවත් වූ සමෘද්ධිමත් සිටුකුලයක උපත ලැබුවා ය. වැඩිවියට පත් වූ කල්හි පතිකුලයට ගොස් සුරූපි දරුවන් දහදෙනෙකු ලැබුවා ය. ඇය නමින් ‘බහුපුත්‍රිකා’ බොහෝ දරුවන් ඇත්තී යැයි ප්‍රකට වූවා ය. ඒ දරුවොත් රන් කඳන් වගේ ලස්සනයි. ළමයි දස දෙනක් සිටිනකොට ඒ අම්මා තේජස්. තමන් වයසට ගියාම එක දරුවෙක් හරි බලයි කියන බලාපොරොත්තුව ඒ අම්මාගේ හිතේ තිබුණා. දවසක් ඒ අම්මාගේ සැමියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ගියා. දැන් මේ අම්මා ස්වාමියාත් නැතුව දරුවන් දස දෙනෙක් හදාවඩා ගන්න ඔට්ටු වෙනවා. ඒක ලෙහෙසි වැඩක් නොවේ. ඉතා අමාරුයි. ඒ දරුවන්ට උගන්වන්න ඕන. ගෙවල් දොරවල් හදා දෙන්න ඕන. රැකියා සොයා දෙන්න ඕන. විවාහ කර දෙන්න ඕන. දේපල පවරන්න ඕන. ඇය මත විශාල වගකීමක්. ඇය කෙසේ හෝ කරදර මැද දරුවන් ලොකුමහත් කළා. දුකසේ සියලු දේ විඳ දරාගෙන කාලය ගත කළා. මානසික පීඩාවලටත් මුහුණ දිදී සිත ශක්තිමත්ව සිටියා. ස්වාමියාට බණින්නේත් නැතිව, දරුවන්ට බණින්නේත් නැතිව සිතේ හයිය අරගෙන සියලු දෙයට මුහුණ දුන්නා.

දරුවෝ ලොකුමහත් වුණා. සුදුසු විවාහ කර දුන්නා. දේපල පවරා දුන්නා. ඒ සෝණා අම්මා තමන් වෙනුවෙන් කිසිදු දෙයක් තබා ගත්තේ නැහැ. සියලු දේ දරුවන්ට පැවරුවා. කාලයක් යද්දී බාල පුතයි ලේලියි කියනවා “අම්මා ඇයි අපි ගාවම ඉන්නේ? තවත් නව දෙනෙක් ඉන්නවනේ. ඒ ගෙවල්වලටත් යන්න” කියලා. ඒ අම්මා එළියට බැහැලා තව දරුවෙකුගේ නිවසට ගියා. ටික කාලයක් යද්දී ඒ ගෙදර දරුවොත් කියනවා “ඇයි අම්මා අපට වැඩිපුර දේපලක් දුන්නා ද? තව අය ඉන්නේ. ඒගොල්ලෝ ගාවටත් යන්න” කිව්වා. ඇය ඒ නිවසින් එළියට බැස්සා. තමන්ට නැගිටගන්න බැරුව ඉද්දී අත දීපු අම්මා නේද මේ කියා ඒ දරුවෝ අමතක කළා. කන්න අකැමති වුණාම බලෙන් කටට බත්ගුලි දාලා කැව් අම්මලාටයි එහෙම කරන්නේ. තමන් තුරුළට අරන් කිරි පොවපු අම්මාටයි එහෙම කරන්නේ. පොඩි කාලයේ වරු ගණන් තමන්ගේ උකුලේ තියාගෙන නලවපු අම්මාට අද නිදාගන්න ඒ නිවෙස්වල ඉඩ නැති වෙලා. ඇය ගෙයින් ගෙට යනකොට සෑම නිවසක ම දොරවල් වැහුණා. ඇය දරුවන්ටවත් ලේලිලාටවත් දොස් කිව්වේ නැහැ. වෛර කළෙත් නැහැ. මේ දරුවාගේ වැරදි අනෙක් දරුවාට කිව්වේ නැහැ. පාඩුවේ හිටියා. ඇයට සිදු වූ අසාධාරණය කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ සාධාරණය – අසාධාරණය සොයන්න එපා කියලා. එහෙම අසාධාරණකම් එකදිගට එනකොට ඒ අසාධාරණ සංසාරයෙන් නිදහස්වීම තමයි හොඳම දේ. දුක් කරදර එකදිගට එනකොට දුක් කරදර දෙන කෙනාට ඇගිල්ල දිගු කරනවාට වඩා හොඳයි කෙලවරක් නැති මේ සංසාරයෙන් නිදහස් වෙන එක. විසඳුම ඒකයි. ඇගිල්ල දිගු කරන අයට වෛර බැඳගත්තොත්, මීටත් වඩා දුක් කරදර තිබෙන ලෝකයක උපත සැකසේවි.

ඉතින් මේ අම්මා කල්පනා කරනවා අසාධාරණය සංසාරයේ ස්වභාවය යි. ඒ නිසා මේ අසාධාරණ සංසාරයට ඇලෙන්න හොඳ නැහැ. ඒ කාලයේ මේ දරුවෝ මගේ වටේ දැවටි දැවටි සිටියා. ඤාතීන් යහලුවෝ මට හිටියා. අද කවුරුත් නැහැ. මම යසස තිබූ කාලයේ උදම් වුනෙත් නැහැ. අයස ආ විට කම්පා වෙන්නෙත් නැහැ කියා ඇය කල්පනා කළා. දැන් ඇය වයසයි. අතපය වාරු නැහැ. දුර්වලයි. කායික දුකටත් මානසික දුකටත් ඔරොත්තු දිදී ඒවාට කම්පා නොවී ඇය විසඳුමකට ආවා. ඇය භික්ෂුණී ආරාමයකට ගියා. එතැනත් ඇයට ලෙහෙසි වුණේ නැහැ. එතැන සිටි භික්ෂුණීන්ගේ බොහෝ වැඩ කරන්නට ඇයට සිදු වුණා. දර පැලුවා, වතුර උණු කළා, පැන් පහසුවෙන්ට වතුර පිරවූවා, අතුපතු ගෑවා, දවස පුරාම වැඩ කළා. සාමාන්‍ය කෙනෙක් නම් එතැනටත් ගැටී යනවා. ඇය ඉවසුවා. දවස පුරාම වැඩ කරලා රාත්‍රියට පහළට බැහැල එතැන තිබෙන කණුවක් අල්ලාගෙන තමන්ගේ ශරීරයේ තිබෙන දෙතිස් කුණුපයන් සිහි කරමින් සක්මන් භාවනාව කරනවා. ඇයට මලුවක සක්මන් කරන්නට වාරු නැති නිසා ඇය කණුව වටේට සක්මන් කරනවා. මේ මහපොළොවට පස් වෙලා යන කයක්, කුණුප කොටස්වලින් සැදුනු කයක් දරාගත් නිසානේ මට මේ දුක කියා සිතමින් ඇය සක්මන් භාවනාවේ යෙදෙනවා. ඇය කායානුපස්සනාව සිහිකරමින් රැය පුරා සක්මන් කරනවා.

ඇයගේ සිත පටු වුණා නම් ඒ තෙරණිය රාත්‍රිය පුරා ම සිහි කරන්නේ දරුවන් කළ අසාධාරණ යි. ‘මම ලොකු පුතාගේ ගෙදර ගියාම මට මෙහෙම කළා. අනෙක් පුතාගේ ලේලි මෙහෙම කළා. පොඩි දුවත් හුඟක් වෙනස් වෙලා’ ආදී ලෙස රැය පුරා අයෝනිසෝ මනසිකාරයෙන් කාලය ගෙවන මව්වරුන් අදටත් කොතරම් සිටිනවාද. තමන්ට සිදු වූ අසාධාරණය සිත සිතා නිදි වරනවා. මේ තෙරණිය තමාට සිදු වූ අසාධාරණ සිත සිතා නොවෙයි නිදි වරන්නේ. අසාධාරණකම් තිබෙන මේ සංසාරයෙන් මිදෙන ආකාරය සිත සිතා නිදි වරනවා. ඒ තෙරණිය කෙතරම් නම් දියුණු ද!

එක්දිනක් දවල් කාලයේ බොහෝසේ වෙහෙසිලා රාත්‍රියේ සක්මන් කරන්නට ආවා. එදින ඇගේ පින මෝරා තිබුණා. අපේ භාග්‍යවතුන් වහන්සේ එදා මහාකරුණා සමාපත්ති ඥානයට සමවැදිලා ලෝකය දෙස බැලුවා. උන්වහන්සේ පින මෝරා තිබෙන මේ තෙරණිය දුටුවා. මේ බියකරු සසරින් මිදෙන්නට ගන්නා වීර්යය දුටුවා. බුදුරජාණන් වහන්සේ එතැනට ආලෝකයක් එවා ඊට පසුව ගාථාවක් වදාළා. “කෙනෙක් ධර්මයේ හැසිරෙන්නේ නැතිව අවුරුදු සියයක් ජීවත් වුනත් වැඩක් නැහැ. ධර්මයේ හැසිරෙමින් එක් දිනක් ජීවත් වීමත් උතුම්” යැයි වදාළා. මේ දහම් පදය අසා ඒ තෙරණිය නිකෙලෙස් වුණා. දැන් ඒ තෙරණින් වහන්සේ අපි වගේ සංසාරයේ නැහැ. ඇය ගෞතම බුද්ධ ශාසනයේ වීර්ය අධික භික්ෂුණීන් වහන්සේ ලෙස අගතනතුරු ලැබුවා.

අද වෙද්දිත් අපි මේ සංසාරයේ ඉතිරිවෙලා ඉන්නේ එකපිට එක කරදර එද්දී අපට සිතන්න බැරි වුණා ‘අනේ මේක සංසාරයේ ස්වභාවය නේ’ කියලා. අපට දුකක් එනකොට අපි කල්පනා කරන්නේ ‘අසවලා නිසයි මට මේ දුක. මගේ ජීවිතයට කරදරවල ඉවරයක් නැහැනේ’ කියලයි. ඒ හැම කරදරයක් අස්සේ ම මම කියන වචනය අල්ලාගෙන අපි දුක් විඳිනවා. ඒ ආකාරයට සිතුවොත් අපට මේ සසරින් එතෙර වීමට තිබෙන මාර්ගය වැහෙනවා. නමුත් ‘මේ දුක් කරදර එන එක සංසාරයේ ස්වභාවයක්. තවත් මම මේ දුක් සහිත සසරේ යනවා නම්, ඒක මම මට ම කරගන්නා අසාධාරණයක්. මේ ජීවිතයේ දුක ටිකක් අඩු වෙන්න පුළුවන්. ලබන ජීවිතයේදී මට මීට වඩා ගොඩාක් දුක් විඳින්න වෙයිද දන්නේ නැහැ’ කියලා අපි සිතන්න ඕන. සංසාර දුකෙන් නිදහස් වෙන්න ධර්මය ඇසෙන වෙලාවේ දුකට අකැමති වෙලා, ධර්මයට කැමති වෙන්න ඕන. එතකොට අප සිහි කරන්නේ දුක ඇති කරන සිද්ධි නොවේ. සිහි කරන්නේ දුකෙන් නිදහස් වෙන්නට තිබෙන ධර්මය යි. හැබැයි මේකට ලොකු පිනක් මෙන්ම ප්‍රඥාවත් සිතේ හයියත් ඕන වෙනවා.

එනිසා අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා මේ ගෙවා ආ සංසාරේ ආරම්භක කෙළවරක් පනවන්න බැහැ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් කරුණ නිතර සිහි කළ යුතු වෙනවා. ඔබ මේ සසරේ මහා කටුක දුක් විඳ තිබෙනවා. මහා දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී තිබෙනවා. මේ මහ පොළොව නම් වූ සොහොන් පිටිය පුරවමින් තමයි අපි පැමිණ තිබෙන්නේ. ඒ නිසා අප්‍රමාදීව මේ හැම සංස්කාරයක් ගැනම කළකිරීම ම යි වටින්නේ. අවබෝධයෙන් ම නො ඇලීමයි වටින්නේ. නිදහස් වීම ම යි වටින්නේ කියලා වදාළ ධර්මය ම යි සිහි කළ යුතු වන්නේ.

සමහර අම්මලා කියනවා “මම තරුණ කාලේ, රැකියා කළ කාලේ, හැඩරුව තිබූ කාලේ අපේ දරුවෝ ඒ අයගේ යාලුවන් නිවසට ආ විට ‘මේ මගේ අම්මා’ කියලා ඉස්සරහට එක්කගෙන යනවා. දැන් වයසට ගිහිං එකතැන වැටිලා ඉන්නකොට ඒ අයගේ යහලුවන් නිවසට එනදාට අම්මේ අද කට්ටියක් අපේ ගෙදරට එනවා කියලා ඒ අම්මාව කාමරයකට දාලා දොර වහනවලු. එක ම අම්මා. එක ම දරුවා. නමුත් පොඩි කාල සීමාවක වෙනස් වෙලා අවස්ථා දෙකක් වුණා. මේ දේ හැමෝටම පොදු වූ දෙයක්. කවදහරි දවසක අපි එක්තැන් වෙලා මලමුත්‍රා ගොඬේ වැටිලා කාමරයක තනිවෙලා ඉද්දී සමහරවිට තමන්ගේ ම දරුවෝ ‘මේ මගේ අම්මා’ කියලා අන් අයට හඳුන්වලා දෙන්න අකමැති වෙන්න පුළුවන්. වේලාසනින් ම අනිත්‍ය මනසිකාරය තුළින් ධර්මයේ සිත පිහිටුවාගෙන නොසිටියොත් ඒ වෙලාවට හිත කඩා වැටෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළා තමන් වහන්සේගේ ශ්‍රාවකයාට එහෙම වෙන්නෙ නැහැ. ආර්ය ශ්‍රාවකයා ඊට වඩා කල්පනා කරනවා. ලාභය ඉපදුනත් ඒක අනිත්‍යයි. ඒ අනිත්‍ය දේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේ දුකයි. ඒ නිසා ඒ දේවල් මට ඕන ආකාරයට තබා ගන්න බැහැ කියලා හිතන්න ඕන. රටේ ජනාධිපති වෙනස් වුණොත් ඒ ජනාධිපති කාලයේ දැක්වූ ගරු සැළකිලි ඊට පස්සේ නැහැ. රජයේ ඉහළ නිළයක් දරලා, උසස් රැකියාවක් කරලා විශ්‍රාම ගිය පසු ඒ සැළකුම් නැහැ. ඒකයි ලෝක ස්වභාවය. මේ ලාභය අනිත්‍යයි, ඒක දුකයි. මට ඕන ආකාරයට පවත්වන්න බැරි නිසා අනාත්මයි මට ධනය තිබෙන නිසා පිරිස එකතු වෙලා ඉන්නවා. නමුත් මේක අනිත්‍යයි කියා අපට තේරුම් ගන්න පුළුවන් නම් මේ ධර්ම මාර්ගයේ දිග ගමනක් අපට යන්න පුළුවන් වේවි.

යම් දවසක් එනවා කිසිම කෙනෙක් අප දෙස නො බලන. මේ අතේ පයේ හයිය තිබෙනතුරු බලය, ධනය, තනතුරු තිබෙනතුරු තමයි කවුරුත් අපට ප්‍රශංසා කරන්නේ. සමහරවිට මේ ලෝකයේ සිටිනතුරු පමණයි ප්‍රශංසා. මියගිය පසු කාලයක් කතා කරනවා. එතැනින් ඒක ඉවරයි. ඒක අනිත්‍යයි. අපට ප්‍රශංසාව නවත්වන්න බැහැ. ඒක ලෝක ධර්මය යි. නමුත් ප්‍රශංසාව එනවිට නුවණින් කල්පනා කරනවා නම්, ඒ ප්‍රශංසාවට නො ඇලී එය අනිත්‍ය වෙලා යනවා කියලා එදාට දරා ගැනීම ලෙහෙසියි. තමා සමග වටේ පිරිවර ඉඳලා ඒ අය අඩු වෙවී යද්දී දරන්න බැරි වෙනවා. ඒ වගේම සැපෙන් ඉන්නකොට ඒක අනිත්‍යයි කියලා සිහි නො කර ඉන්නවා නම්, එතැන තමන්ගේ අඩුවක්. දිනෙන් දින ශරීරයේ වැහිරෙනවා. ඉඳගෙන ඉන්න අමාරු වෙනවා. කායික පීඩා වැඩියි. සැපසේ ඉන්න කාලයේ ඒ හැම දෙයක් ම අනිත්‍යයි කියලා සිහි කළොත් ඔහුට සැපය අනිත්‍ය වෙලා යනවිට දරන්න පුළුවන්කම තිබෙනවා.

අපි ගොඩාක් ඉවසන්න ඕන. සීමා රහිතව ඉවසන්න ඕන. සැප වගේ ම දුකත්, දුක වගේ ම සැපත් අනිත්‍ය බව ම නිතර නිතර හිතන්න ඕන. ‘අසාධාරණය’ සසරේ ම ස්වභාවය බව දැනගෙන සාධාරණය නොසොයා හිතේ උපේක්ෂාව පවත්වන්න ඕන.ලෝකයට නොපෙනුනාට එදාට අපි ජීවිතය ජයගන්නවා.

No comments