..............................................
තම දරුවන් අයහපතින් මුදා යහපතෙහි යොදා ආරක්ෂා කොට ප්‍රේමයෙන් හදා වඩන්නෝ මවුපියෝ නම් වෙති.
"බ්‍රහ්මාති මාතාපිතරෝ පුබ්බාචරියාති වුච්චරේ,
ආහුනෙය්‍යා ච පුත්තානං පජාය අනුකම්පකා
තස්මා හි නේ නමස්සෙය්‍ය සක්කරෙය්‍යාථ පණ්ඩිතෝ "
මව්පියවරු බ්‍රහ්මරාජයෝ ය. මුලින් ම ලැබෙන ආචාර්යවරු ය යි කියනු ලැබේ. දූදරුවන්ගේ පුද පූජාවන්ට නිසි වූ ඒ දෙමව්පියෝ දරු පරපුරට අනුකම්පා කරන්නෝ ය. එහෙයින් නුවණැති දරු තෙමේ තම දෙමව්පියන්ට වැඳුම් පිදුම් කරන්නේ ය. ඇප උපස්ථාන කරන්නේ ය.
උපුටා ගැනීම : සබ්‍රහ්ම සුත්තං
බ්‍රහ්මයා සියලු සත්ත්වයන් කෙරෙහි මෙත්තා - කරුණා - මුදිතා - උපේක්‍ෂා යන උතුම් පැවැතුම් සතරෙන් යුතු ව වාසය කරයි. මවුපියෝ ද මේ සතර ගුණයෙන් යුක්ත හෙයින් බ්‍රහ්මයෝ - ශ්‍රෙෂ්ඨයෝ වෙති.
මවු කුස වන් ප්‍රත්‍රයා නිදුක් ව නිරෝග ව කවදා දකිමු දෝ යි නිතර ම මෙත් සිත පතුරුවති. දරුවනට ස්වල්ප වූ ද දුකක් කරදරයක් ඇති වූ විට මවුපියන්ගේ ළය කම්පා වෙයි. ඒ දුකින් මුදවන කරුණා සිත පහළ වෙයි. මවුපියෝ වුව ද අන්‍යයන් ගේ දියුණුව කැමැත්තෝ ම නො වෙති. ඊර්ෂ්‍යා නොකරන්නෝ ද නො වෙති. එහෙත් තම දරුවන් ගේ දියුණුවෙහි නම් ඊර්ෂ්‍යා නො කෙරෙති. තව තවත් දියුණු වේවා යි මුළු සිතින් ම බලති, පතති. එහෙයින් මවුපියන් තුළ දරුවන් කෙරෙහි මුදිතා ගුණය ද නොඅඩුව ම වෙයි. මවුපියෝ තම දරුවන් ආවාහ විවාහ ආදියෙන් බැහැර ව ගිය ද මුළුමනින් ම ඔවුන් අත් නො හැර උපේක්‍ෂක ව මධ්‍යස්ථ ව සැප දුක් සොයා බලති. මෙකී ගුණ සතර නිසා - ශේෂ්ඨ පැවැතුම් සතර නිසා මවුපියෝ බ්‍රහ්ම නමුදු වෙති.
කෙනෙකුට ආචාර්යවරයෝ බොහෝ දෙනෙක් වෙති. ඉන් හැමට පළමු ආචාර්යවරයෝ නම් දෙමවුපියෝ ය. ශිල්පශාස්ත්‍රාචාර්යවරු කලින් කල වරින් වර වෙනස් වෙති. එහෙත් පුර්වාචාර්යවරයෝ මරණින් විනා අතරෙහි නම් වෙනස් නොවෙති. ශිල්ප ශාස්ත්‍රාචාර්යවරයන් ගේ ඉගැන්වීම නැතිව ද ලොව සිටිය හැකි වුවත් පූර්වාචාර්යයන් ගේ ඉගැන්වීම් කොටස නැති ව නම් ලොව ශිෂ්ට මනුෂ්‍යයකු
ලෙස වාසය කළ නොහැකි ය. එහෙයින් සෑම දෙනා විසින් ම අවශ්‍යයෙන් ම දත යුතු යන - එන, කන- බොන, කතා කරන සැටි ආදිය ඉගැන්වෙනුයේ පූර්වාචාර්ය වූ මවුපියන් විසින් න්මය.
මවුපියෝ පිදිය යුත්තෝ ද වෙති. ‘ආහුනෙය්‍ය’ යන්න බුදුරජාණන් වහන්සේ විසින් රහත් ගුණයක් ලෙස ද යොදන ලද ගුණ පදයෙකි.
පින් කුඹුරු සතරසැදැහැවතුන් ගේ පින් නැමැති බිත්තර වැපිරීමට ඉතා වටිනා පින් කුඹුරු හතරක් ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළහ.
1. බුදුරජාණන් වහන්සේ 2. රහතන් වහන්සේ 3. මෑණියන් වහන්සේ 4. පියාණන් වහන්සේ යනු යි.
මවුපියනට උපස්ථාන කිරීම උතුම් පින්කමක් බව මැනැවින් පැහැදිළි වේ.
ලක්දිව කිරුළු පලන් අග‍්‍රබෝධි (අග්බෝ) රජතුමා ගැන සිහි කිරීම වටී.
දිවා – රාතී‍්‍ර මව් උපස්ථානයේ යෙදුණු රජතුමා උදෑසනින් පිබිදී මෑණියන් සිටින සිරියහන් ගබඩාවට ඇතුළු වේ. පළමුවෙන් ම මෑණියන්ගේ හිස සෝදා ඇෙඟ් තැවරී ඇති කුණු දූවිලි උළා, හිස පිරිසිදු කර නහවයි. අලූත් වස්ත‍්‍ර පොරවයි. කිලිටි වස්ත‍්‍ර තමා විසින් ම සෝදයි. සේදූ වස්ත‍්‍රයේ ජලයෙන් ඔටුන්න සහිත තමන්ගේ හිස සෝදා, සුවඳ මලින් මෑණියන් ව පුදයි. තුන් වටයක් ප‍්‍රදක්‍ෂිණා කර තුන්වරක් වන්දනා කරනු ලබයි. රාජ භෝජනවලින් මෑණියන් ව වළඳවයි. වළඳා ඉතිරි භෝජන රජ තෙමේ අනුභව කරයි. තමන් විසින් ම සයනයක් සකස්කර මෑණියන් එහි සයනය කරවයි. පාවල තෙල් ගල්වා නිද්‍රාවට පත්වෙන තුරු පිරිමදියි. නිද්‍රාවට පත්වූ කල්හි ඇඳ වටා පැදකුණු කොට තුන් වරක් වන්දනා කොට සේවකයන්ට මෑණියන් ව භාර දී ඔවුන්ට ද රාජ භෝජනයන් ලබා දී මෑණියන්ට පිටු නො පා ගමන් කරයි. නො පෙනෙන තැන හිඳ නැවත තුන් වරක් වන්දනා කොට රාජ සභාවට පිටත් වේ. රාජ කාර්යය ඉන් අනතුරු ව අරඹයි. උපස්ථානය ගැන සිතමින් ම දවස සුවසේ ගත කරයි. රජු මෙසේ දිවි ඇති තෙක් මෑණියන්ට උපස්ථාන කළේ ය.
මවුපියෝ දරුවන් කෙරෙහි අනුකම්පා කරන්නෝ ද වෙති. දරුවන් කෙරෙහි මවුපියන් තුළ ඇති කරුණාව දයාව නො කිය හැකි තරම් ය. දරුවන් ගේ යහපත සඳහා තම ජීවිතය වුව ද පුදන්නට කැමැති වෙති.
සීවලී මහ රහතන්වහන්සේ ගේ මෑණියන් වූ සුප්පවාසා, දරුවා කුසින් දරමින් සත් වසකටත් වැඩි කාලයක් දුක් වින්ද බව සඳහන් වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ සුප්පවාසා අමතා, කෙසේ ද, ඔබඳු දුකක් විඳ තවත් දරුවන් ලබන්නට කැමැති දැ යි ඇසූහ. එවිට සුප්පවාසා, “අනේ ස්වාමීනි, මෙහෙම දුක් විඳ එක් දරුවකු නො ව දරුවන් සත් දෙනෙකු වුවත් ලබන්නට කැමැති යි" ප්‍රකාශ කළා ය. මේ එක කරුණෙන් ම මවුපියන් දරුවන් කෙරෙහි කොපමණ ප්‍රේම කරනවා දැ යි පැහැදිළි වේ. දරුවන් කෙරෙහි පියවරුන් තුළ ඇති කරුණාවත් කොපමණ ද යන්න බිම්බිසාර රජු ගේ කතා පුවතින් පැහැදිළි වේ.
හොඳ මවුපියන් ගේ බලාපොරොත්තුව
“අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා,
අවජාතං න ඉච්ඡන්ති යෝ හෝති කුලගන්ධනෝ "
ඤාණවන්ත කෙනා අතිජාත, අනුජාත පුත්‍රයන් තමයි කැමති වෙන්න ඕන. පවුල් ගඳ ගස්සන අවජාත පුත්‍රයාට නම් කවුරුත් කැමති වෙන්නෙ නෑ.
උපුටා ගැනීම : පුත්ත සුත්තං
මෙසේ උසස් බලාපොරොත්තුවක් නැති ව කවර ආකාරයක හෝ දරුවන් ලැබීම පමණක් කැමැති වන මවුපියෝ නිර්ගුණයෝ ය, රටට ජාතියට හා ආගමට අහිතයෝ ය. එබඳු මව දරුවනට පමණක් නොව ජනසමාජයට ම හැතිරියක මෙන් ද, පියා හතුරකු මෙන් ද උගත් ලෝ වැස්සෝ සලකති.
නියම මවුපියන් වන්නට බලාපොරොත්තු වන්නවුන් විසින් කල් ඇති ව ම ආවාහ විවාහ වන විට ම තමන් බැඳෙන බැරෑරුම් කටයුත්ත ගැන, කල්පාන්තය තෙක් පවත්නා පරපුරෙක ආදි කර්තෘන් වීමේ වගකීම ගැන හොඳින් සිතා බැලිය යුතුය. මෙ කල මෙ බඳු උදාර හැඟීමෙකින් යුතු ව මවුපියන් වන්නෝ ඉතා දුලබ වෙති. ඉන්‍ද්‍රියයන් පිනවීම ම පරමාර්ථය කරගෙන ආවාහ විවාහ වන්නවුන් බහුල වීම නිසා ජනගහනය වැඩි වෙතත් රටට - ජාතියට - ආගමට - භාෂාවට වැඩ ඇති දරුවන් වැඩි වන බවක් නො පෙනේ.
මවුපියන් ගේ නියම සේවාවගුණ නුවණැති දරුවන් තැනීමට වඩා මහජන සේවයක්, රටට - ජාතියට හා ආගමට කරන හිතවත් බවක් තවත් නැතැ යි මවුපියන් විසින් නිතර සිහියේ තබාගත යුතු ය. දරුවන් තැනීම මවුපියන් කැරනුවා විනා සේවකයන් ලවා කරවන්නක් නොවන බවද මතක තබා ගත යුතු ය. නිසි ලෙස දරුවන් තැනීමේ කාරිය පසෙක තබා නම ප්‍රසිද්ධ කරගැනීමේ අදහසින් හෝ වෙනත් නොමනා පුහු අදහසින් හෝ මහා රැස්වීම් තබා පුහු ඝෝෂා කිරීමෙන් නම් කිසි විටෙකත් රටට ජාතියට හා ආගමට උපකාරයක් සිදු නොවන්නේමය. එපමණක් නොව, එය සමාජය දූෂණය වීමට ද හේතු වන බව දස දෙසින් ලැබෙන වාර්තාවලින් මොනවට පැහැදිළි වේ.
No comments