නකුලමාතා සහ නකුලපිතා

Share:


අපේ සර්වඥයන් වහන්සේද දහස් ගණනක් සංඝයා පිරිවරාගෙන භගු දනව්වේ සුංසුමාරගිර නගරය ඇසුරු කොට ඇති හෙසකලා මිගදායට වැඩියා. වැඩලා මේ නගරයේ පිඬු සිඟා වඩිනවා. ඒ වඩින වේලාවක දී පුදුම දෙයක් සිද්ධ වුණා. වයෝවෘද්ධ මවුපිය දෙන්නෙක් ඈත තියාම ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පතුල් දෙක අල්ලගෙන පුදුම විදියේ වන්දනාවක් කළා. 'අනේ පුතේ ඇයි මෙච්චර කලක් අපි දකින්න ආවේ නැත්තේ' කියලා. ඉතින් අර පස්සෙන් යන ස්වාමීන් වහන්සේලාට විමතියක් ඇතිවුණා. අපේ තථාගතයන් වහන්සේ කපිලවස්තු නුවර උපන්නේ, ශාක්‍ය වංශිකයි, සුද්ධෝදන මහාමායා මවුපිය දෙපළගේ පුත්‍ර රත්නයයි. ඇයි මේ දෙන්නා පුතා කියලා කථා කරන්නේ තථාගතයන් වහන්සේට. තථාගතයන් වහන්සේ එය ඉවසිල්ලෙන් පිළිගන්නේ ඇයි කියල උන්වහන්සේලාට විමතියක් ඇතිවුණා. පසුව ඊට සුදුසු අවස්ථාවක දී සර්වඥයන් වහන්සේ වදාළ 'මේ දෙන්නට ඕනෑ තරම් වඳින්න ඉඩ හරින්න.' ඉතින් මේ දෙන්නා වැඳලා ඉවර වෙලා ගෞරවයෙන් පසෙකට වෙලා අර බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට ආචාර කරගෙන සිටියා.

පිණ්ඩපාතෙ අවසාන වෙලා තථාගතයන් වහන්සේ භුක්තානුමොදන් දේශනා කරන අවස්ථාවේ, මේ මවුපිය දෙන්නාම සෝවාන් ඵලයට පත්වුණා. එතැන්දි සර්වඥයන් වහන්සේ වදාළ මේ මවුපිය දෙපළ තථාගතයන් වහන්සේට ගෞරවාන්විතව ආදරණීය පුතා කියලා කථා කළේ නිකන් නොවෙයි, මේ දෙන්නා පෙර ජාතිවල පන්සියයක් තථාගතයන් වහන්සේගේ බෝධිසත්ව කාලේ මවුපියන් දෙන්නා වෙලා සිටියා. තවත් ආත්ම පන්සියයක් සුළු මවුපිය දෙන්නා වෙලා සිටියා. තවත් ආත්ම පන්සියයක් මහ මවුපිය දෙන්නා වෙලා සිටියා. තවත් ආත්ම පන්සියයක් නැදිමයිලව වෙලා සිටියා. මේ වගේ ආත්ම දෙදහසකදී තථාගතයන් වහන්සේට පුතා කියලා කථා කරලා පුරුද්දක් තිබුණා. ඒ කියන පුත්‍ර සෙනෙහස තමයි අද මේ පෑවේ. මේක බොරුවක් නෙවෙයි කියන මේක සර්වඥයන් වහන්සේ පහදා දීලා සඟ පිරිසගේ විමතිය දුරු කෙරුවා.

දෙන්නා විශාල ධනවත්, ඒ වගේම සිටු සම්පත් ඇති දෙන්නෙක්. මේ දෙන්නගේ පුතෙක් හිටියා නකුල කියලා. මේ නකුල පුතාගේ නමින් තමයි මේ මවුපිය දෙන්නා හැඳින්වූයේ. නකුලමාතා, නකුල පිතා කියලා. ඉතින් මේ දෙන්නා පුදුම විදියේ භක්තිවන්ත බෞද්ධයෝ. ඒ වාරේ තථාගතයන් වහන්සේ චාරිකාවේ පිටත්වුණා. තවත් පසු කාලයක ඔය ප්‍රදේශයට වැඩම කොට වදාළා. ඒ දවසේ දී මේ දෙන්නා බුදුපාමොක් සඟරුවනට දානයක් පිරිනමන්න ආරාධනා කළා. සර්වඥයන් වහන්සේ ද වැඩියා. එතැන්දි මේ දෙන්නා පුදුම විධියේ ප්‍රාර්ථනාවක් කියා සිටියා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මේ නකුලමාතාව වයස අවුරුදු හතේදී අපි එකතුවුනේ. වයස හතේ පටන් දැන් අපි වයෝවෘද්ධයි, දැන් අපි රෝගාතුරයි, දැන් අපි බලාපොරොත්තු වෙනවා ඒ නකුලමාතාව යම් දවසක මගේ සමීපයට පමුණුවා ගත්තද, එදා පටන් අද වනතුරු අපි දෙන්නා සිතින්වත් වෙන්වුනේ නැහැ. කවදාවත් අන් ස්ත්‍රියක් කෙරෙහි අපේ සිත නැමුනේ නැහැ. ඒ වගේම අපි ඉතාම ශ්‍රද්ධාවෙන්, ඒ වගේම කරුණාවෙන් මෛත්‍රියෙන් සීලවන්තව ජීවත් වුණා. ස්වාමීනි! මගේ පැතුම මීළඟ භවයෙදිත් මේ නකුලමාතාවම ලැබේවා කියන පැතුමයි ' කීවා.

නකුලමාතාවත් වැඳලා කිව්වා, 'ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අපි අවුරුදු හතේදියි එකතුවුනේ. දැන් වයස අවුරුදු එකසිය විස්සක් වෙනවා. ස්වාමීනි! අපි අසනීපකම්වලින් පෙළෙනවා, ස්වාමීනි! එසේ නමුත් නකුලපිතා එදා පටන් අද වනතුරු අපි දෙන්නා සිතින්වත් චෙන්වුනේ නැහැ. කවදාවත් අපි දෙන්නා හැර වෙන කිසි අපේක්ෂාවක් අපේ තිබුණේ නැහැ. ස්වාමීනි! අපි බොහොම සීලවන්ත වුණා, ශ්‍රද්ධාවෙන් දන් පින්කම් කළා. ස්වාමීනි! මගේ පැතුම ඊළඟ භවයේදීත් මේ නකුලපිතාම අපට ලැබේවා කියන පැතුමයි' කීවා.

ඉතින් මේ දෙන්නා මෙසේ මේ විධියට ප්‍රකාශ කරන්න කොතරම් ආත්ම විශ්වාසයක් තියෙන්න ඇත්ද? අර මුලින් සඳහන් කළ පරිදි මේ දෙන්න ආත්ම භාව 2000 කදී අපේ බෝධිසත්වයන්ගේ මවුපිය දෙන්නා, සුළු මවුපිය දෙන්නා, මහ මවුපිය දෙන්නා, මාමා නැන්දා, මේ විධියට සම්බන්ධව තිබුණා. එතකොට මේ දෙන්නා කොතරම් සීලවන්තව ජීවත් වෙලා තියෙනවද? මනුලොව කියන්නේ සුගතියක්. දෙව්ලොව කියන්නේ සුගතියක්. මේ කාම සුගතියෙ භූමි හතයි. මෙහි උපදින්නේ හොඳින් පන්සිල් රකින අයයි. පංච සීලය නොරැක දන් පින්කම් කළ පමණින් දෙව්ලොව යන්නට බැහැ. පංච සීලය රකින්නම ඕනේ. එතකොට මේ ඇත්තෝ අබුද්ධෝත්පාද කාල වලදී පවා පංච ශීලය හොඳින් ආරක්ෂා කරලා තිබුණා. පංච සීලය හොඳින් රකිනවා නම් ඒ ඇත්තන්ගේ ආජීවය හොඳින් පිරිසිදුයි. පංච සීලය රකින කෙනෙක් මිථ්‍යා ආජීවයෙන් ජිවත් වෙන්නේ නැහැ. ඒ වගේම පංච සීලය රකින කෙනෙක් අර මුසාවාදා වේරමණී කියන්නා වගේම, පිසුනාවාචාච, පරුෂාවාචා, සම්පප්‍රලාපා මෙයින් සම්පූර්ණයෙන් වැළකී සිටින අය වෙනවා. ඒ වගේම පංච සීලය රකින කෙනෙක් කවදාවත්ම මද්‍යපානයට වැටෙන කෙනෙක් වන්නේ නැහැ. ඔය වගේ මේ ඇත්තෝ භවයෙන් භවයට සුගතියෙන් සුගතියට එන්න සුදුස්සන් බවට පත්වෙලා තිබුණා. ඒ වගේම මේ දෙන්නා ශ්‍රද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, ඥානයෙන් සමානව ජීවත් වුණා. ඒ ජීවන පැවැත්ම නිසා භවයෙන් භවයටම නැවත නැවතත් මේ දෙන්නා එකට එකතු වෙන්න සමර්ථ වුනේ. මේක ධර්මතාවයක්. අපි බෝධිසත්ව චරිතයෙන් ඔය වගේ බොහෝ ආත්මවල සම්බන්ධතා තියෙන බව පේනවා.

ඉතින් මේ අනුව සලකා බැලීමේදී මේ දෙදෙනාට ආශිර්වාද පූර්වකව කළ අනුශාසනාවයි මා මේ මාතෘකා කළ ගාථා තුන.

"උභෝ සද්ධා වදඤ්ඤූ ච, සඤ්ඤතා ධම්මජීවිනෝ "

දෙදෙනාම ශ්‍රද්ධා සම්පන්නයි, දෙදෙනාම ත්‍යාගවන්තයි. දෙදෙනාම ශීලවන්තයි, දෙදෙනාම ධම්මචාරී. එතැන ශ්‍රද්ධා සම්පන්න කියන්නේ ලෞකික වශයෙන් දාන සීල භාවනා දී කුසල් කිරීමේ දී සද්ධහන ලක්ඛණ සද්ධා, සම්පසාදන ලක්ඛණ සද්ධා, සම්පක්ඛන්ධන ලක්ඛණ සද්ධා, ඕකප්පන ලක්ඛණ සද්ධා කියන මේවා පවතිනවා.

ඒ කියන්නේ තමන් කරන කුසලයෙහි ඵල විපාක තියෙනව කියල නුවණ නිසා ඒ ගැන බලවත් ප්‍රසාදයක් ඇතිවෙනවා. දැන් සමහරවිට තිරිසන් සතෙකුට වුනත් යමක් දීමේදී, ඒ තිරිසන් සතා කෙරෙහි පරම මෛත්‍රියෙන්, කරුණාවෙන් දෙනවා. මේ තිරිසන් සතාද දැන් තිරිසන් වුනාට පෙර ජාතිවල සක්දෙව් රජචෙලා ඉඳලා තියෙනවා, සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා, බ්‍රහ්ම රාජයො වෙලා ඉඳලා තියෙනවා, මහා ධනවත් අය වෙලා ඉඳලා තියෙනවා, මහා රූපවන්තයො වෙලා ඉඳලා තියෙනවා. මේ තරමේ උසස් තැන්වල ඉඳලා තිබුණා. නමුත් සංසාර දෝෂයක් නිසා දැන් තිරිසන් වෙලා තියෙනවා. මමත් මේ වාගේ අනන්ත ජාතිවල තිරිසන් වෙලා සිටියා. මේ සතාට මම කෑම බීම ටිකක් දෙනවා, මේක සතාගේ සිතේ කුසල් සිත් පහළවෙන්න හේතුවේවා. මොහුට නැවත සුගතියක්ම වේවා. මොහු නැවත කල්‍යාණ මිත්‍රයන් ලබාගෙන දානාදී දස කුසල් පුරා සසර දුකින් මිදී නිවන් දකීවා කියලා මෛත්‍රියෙන් ඒ සතාට දෙනකොට එතැන තියෙනවා ශ්‍රද්ධාව. ඒ මක්නිසාද? එය මෛත්‍රිය සහගත වූ ද, ආනිසංස දක්නා නුවණින් යුක්ත වූ ද, සිතක් නිසා සිතේ පැහැදීම ශ්‍රද්ධාවයි. එතකොට ඒ ශ්‍රද්ධාවෙන් දන් පින්කම් කරලා තියෙනවා. අබුද්ධෝත්පාද කාලවලදී තිරිසන් සතුන්ට, දුගී මගී යාචකාදීන්ට, අසරණයින්ට, ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට සියලු සංග්‍රහ කරලා
තියෙනවා.

ඒ වගේම "වදඤ‍්ඤූ" කියන්නෙත් ඒ පරිත්‍යාගශීලී ගුණයයි. හැමදාම යමක් පරිත්‍යාග කරන්න පුරුදු වෙනවා. කොයි වේලාවකවත් තමන් අනුභව කරන්නේ නෑ යමක් නොදී. ඒ තරමට පරිත්‍යාගය පුරුදු කරලා තිබුණා. ඒ වගේම "සඤ‍්ඤතා " කියන්නේ සීලවන්ත බව. තමන් ගන්නා පංච සීලය උතුම් ලෙස ආරක්ෂා කරනවා, පෝය අටසිල් ආරක්ෂා කරගන්නවා, අබුද්ධෝත්පාද කාලයක පවා. බුද්ධෝත්පාද කාලවලදී ද ඥානවන්ත අය පංච සීලය, අෂ්ඨාංග සීලය ඒ නිසිහැටියට පුරනවා. ඒ වගේම "ධම්මජීවිනො"" කිව්වේ අනිකුත් ගුණ ධර්ම. ඒ කියන්නේ මෙතැන ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය කියවුණා.

ඒ වගේම බහුශ්‍රැත භාවය කියන්නේ කුසල් අකුසල් ගැන අවබෝධය. ඒ වගේම කර්ම විපාක ගැන වටහාගෙන කටයුතු කිරීම. - ඒකත් බහුශ්‍රැත භාවයක්. ඒ වගේම සමථ විපස්සනා භාවනා තුළින් උසස් ගුණ පුරා ගන්නවා. ඒකත් බහුශ්‍රැත භාවයක්. ඒවාට කියනවා අධිගම බහුශ්‍රැත කියලා. ඒ වගේම හිරිඔත්තප්ප කියන ගුණ ධර්ම දෙක, පාපයට ලජ්ජාවීම, පාපයට භය, මේ ගුණ ධර්ම දෙකත් හොඳින් ආරක්ෂා කිරීම ධර්ම ජීවිතයක් පැවැත්වීමක්. ඔය වගේම පුරන්න තියෙන කුසල ධර්මයන් තියෙනවා පස්පවින් වැළකීම, සප්ත අකුසල කර්ම පථයෙන් වැළකීම, ඒ වගේම මනෝ ද්වාරික අකුසල කර්ම තුනෙන් වැළකීම. මේවාට කියනවා දස අකුසලයෙන් වැළකීම, දස කුසලයන් පිරීම කියලා. දස පුණ්‍ය ක්‍රියා පුරනවා. ඒ වගේම සිව්බඹ විහරණ වඩනවා, සතර සංග්‍රහ වස්තු වඩනවා. ඔය තුළින් බෝධිපාක්ෂික ධර්ම 37 ක් වැඩෙනවා. කරණීය ධර්ම 14 ක් වැඩෙනවා. මහා මංගල ධර්ම 38 ක් වැඩෙනවා. මේ ඔක්කොම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් හැසිරීමට කියනව ධර්මචාරී බව, ධර්මජීවී බව කියලා. එතකොට මේ කියන ගුණ ධර්ම සියල්ල ඒ දෙදෙනාට පැවතුනා.

"තේ හොන්ති ජානිපතයෝ, අඤ්ඤමඤ්ඤං පියංවදා.' , ඒ අඹුසැමි දෙදෙනා  එකිනෙකාට ප්‍රිය බස් තෙපලමින් සිටිති.

"අත්ථා සම්පචුරා හොන්ති, ඵාසත්ථං උපජායති;අමිත්තා දුම්මනා හොන්ති, උභින්නං සමසීලිනං." සමසිල් ඇති ඒ දෙදෙනාගේ දියුණුව නිතැතින් සැළසෙයි. ඒ වගේම ජීවිතය බොහොම පහසු විහරණයෙන් ගත කරනවා. හැබැයි තමන්ට පසමිතුරු යමෙක් ඉන්නව නම් ඒ ගොල්ලො දුර්මුඛ වෙනවා. මෙතරම් මේ දෙන්නා තේජවන්තව, භාග්‍යවන්තව, පුණ්‍යවන්තව, ජීවත්වනව නේද කියලා කරන්න දෙයක් නැතිව ඒ ඇත්තෝ දුර්මුඛ වෙනවා. ඒ වගේම අහක බලාගන්නවා.


“ඉධ ධම්මං චරිත්වාන, සමසීලබ්බතා උභෝ" , මෙහිදී දෙදෙනා ම ධර්මයෙහි හැසිර සම සීලයෙන් යුක්ත ව වාසය කරනවා

"නන්දිනෝ දේවලෝකස්මිං, මෝදන්ති කාමකාමිනෝ”ති." , මරණින් මතු දෙව්ලොව ඉපද කැමති සම්පත් ලබා සතුටු වන්නාහ කියන එක දෙදෙනාට ඒ ගාථාවෙන් අනුසාසනා කොට වදාළා.

ඉතින් මේ දේශනා තුළින් අපට පැහදිලි වෙනවා, බෞද්ධ නොවුනත් සංසාර ගමනේදී කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබීමෙන්, සුගතියෙන් සුගතියට සැපත් වූ හැටිත්, බුදු සසුනක් ලැබුන අවස්ථාවේදී, බුදු සසුනේ ශ්‍රද්ධාව ආදී ගුණ පිහිටුවාගෙන මාර්ග ඵල නිවන් අවබෝධ කරගන්න හැටිත් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා.
ඉතින් මේ දෙදෙනා බොහෝ ශ්‍රද්ධා සම්පන්නව ජීවත්වුණා අවුරුදු 120 ක්ම. ඉතින් ඒ දෙදෙනාගේ දරුව තමයි නකුල කියන සිටු පුත්‍රයා. ඉතින් මේ නකුල කියන සිටු පුත්‍රයා මේ වගේ මවුපියන් දෙදෙනෙකුගේ දරුවක් වෙන්න මොන තරම් පුණ්‍යවන්ත වෙන්න ඇත්ද? ඉතින් ඒ විධියේ පුණ්‍යවන්ත දෙමවුපියන්ට, පුණ්‍යවන්ත දරුවන්ද ලැබෙනවා. ඒ දරුවන් එක්ක දානාදී කුසල් පුරාගෙන පුණ්‍යවන්තයන් පැමිණෙන සුගතියටත්, ඒ වගේම පුණ්‍යවන්තයන් විසින් යා යුතු මගඵල නිවනටත් සැපැත්වීමට ලැබෙනවා.


 

No comments